Thursday 17 January 2013

සිගරට් සහ පවුල් ජීවිතය. (18+)



කාලෙකින් කොටන්න ගත්ත නිසා ටිකක් නුහුරුයි නුහුරුයි වගේ ගණන් ගන්න එපා යාලුවනේ. මෙන්න මේකයි මම අද ඔයාලට කියන්න යන්නේ. මම අතිශය පජාත ලෙස කුජීත වෙච්ච අවස්තාවක් ගැනයි. මම මෙච්චර කල් ලිව්වේ මගේ යාලුවොන්ට වෙච්ච දේවල් නේ අද මම මට වෙච්ච අවාසනාවන්ත සිදුවීමක් ගැන ලියන්න හිතුවා. මේක ලියන්න මට හිතුනේ අපේ අත්තම්මාගේ පෙට්ට ගම ලියන ලොකු ජෝන් අයියගේ ලිපියක් දැකලා. දැකල ගොඩක් දවස් උනත් මේක ලියම්දෝ නොලියම්දෝ කියා කියා හිත හිත ඉන්න කොට අන්තිමට ඔන්න ඔහේ ලියල දානවා කියල හිතා ගත්තේ.


එය 2012 වසරේ ජනවාරි මස එක්තරා වැසිබර කාලගුනයකින් පිරි දවසක් විය. මා ගතට දැනෙන සීතල තරමක් නුහුරු වූයේ උෂ්නාදික රටක ජීවත්වන බැවින් විය යුතුයි. මේ සම්භාව්‍ය විදියට ලියන්න ගත්තට කතාව සම්භාව්‍ය නැහැ. ඒ නිසා පරණ පුරුදු විදියටම ලියන්නම් කෝ පට්ට පදිරි සීතලක් එදා තිබුනේ. සිඟිති අක්කට කියල කෝපි කෝප්පයක් වක්කරගෙන බීලා පොඩි උන් ටික සෙල්ලම් කර කර ඉන්න සාලේ පැත්තට ඔලුව දැම්මේ අපේ හාමිනේ කොහෙද ඉන්නේ කියල දැනගන්න. මොකද මම මේ දැන් සැරසෙන්නේ අපේ හාමිනේට හොරෙන් මම කරන හොර  වැඩක් කරන්න නිසා පළපුරුදු කොමාන්ඩෝ සෙබලෙක් වගේ තමයි
මම ඔත්තු බැලුවේ. අපේ උන්දැත් පොඩි උන් එක්ක සාලේ ටීවී බලනවා. කල දුටු කල වල ඉහගන්න ඕනේ කියල කියමනක් තියෙන නිසා පටස් කාලා පස්ස දොරෙන් එලියට පැනගත්ත මම. කෙලින්ම ගියේ අපේ එළියේ දර ලිප තියෙන පොඩි කුස්සි කෑල්ලට. එක දැන් පාවිච්චියට ගන්නේ නැති නිසා මකුණු දැල් බැඳිලා නිකන් හොල්මන් මන්දිරයක් වගේ තමයි තියෙන්නේ. මම හොඳින්ම දන්නවා මේ වගේ වෙලාවට මේ පැත්තට කවුරුවත් එන්නේ නැති විත්තිය. ආවත් එතන ගැටගහල ඉන්න බල්ලගෙන් මට දැනගන්න පුළුවන් ඒ පැත්තට කවුරු හරි එනවනම්.

මෙන්න උදා උනා ඒ උත්කර්ශවත් අවස්තාව මම මෙච්චර වෙලා පෙරුම් පුර පුර බලන් හිටපු. හීන් සැරේ ගිනි පෙට්ටියෙන් ඇදල ගත්ත ගිනිකූර ගහල සිගරට් එකක් පත්තුකරගෙන ආපහු පෙට්ටිය වහලේම රැඳවූයේ කාට හරි අසුවුවහොත් මාගේ රෙදි ගැලවෙන බව දන්නා නිසයි. හීන් සැරේ සිගරට්ටුව බොමින්  දුම් රැලි යවමින් කෝපි කෝප්පය තොල ගාන අතර බල්ලාගේ හැසිරීමේ වෙනසක් වූයෙන් එලියට එබී බැලුව විට මා දුටුවේ කලිසම සුලුදියෙන් තෙමන දසුනකි. මොකක්ද පින්වතුනි.........? අපේ ගෙදර උන්දා මේ පැත්තට එන බවයි. කරන්නට දෙයක් කල්පනා වූයේ නැති බැවින් දර ලිපේ කේතලයක් තබා ඇත.අළුද ඇති බව දුටූ මා සිගරට්ටුව එහි දමා අළු වලින් වැසීමට තැත් කරන විටම බනියා කුස්සියට ඇතුළු විය. අහෝ දුකකි ඉරකි තිත් ගොඩකි................... බනියාගේ මුහුණ දුටු විට මා පසුතැවිලි වූයේ ඇයි බං මේ මුහුණ මා සඳට උපමා කලේ. හඳ මෙච්චර නපුරු නැහැනේ.  යකෝ හඳ දන්නවනම් මට නඩු දානවා අපේ උන්දැට අම්බා මල පැනල. එතනින් එහාට වචනයක්වත් කතා නොකර මල්ලිවත් ඇදගෙන ගෙට ගිය ඇය එදින පුරාවටම මා හා වචනයක්වත් කතා කරේ නැත. ඕන්.


මෙච්චර ආරක්ෂක විදි විධාන දාල බිව්ව සිගරට් එක මාට්ටු වූ දුක මට දැනෙන්නට වූයේ මහමෙරක් ලෙසින්ය. තව පැත්තකින් මා පුදුම වූයේ අපේ මායියා මේ ගැන මා හා වචනයක්වත් කතා නොකළ බැවින්ය. පසුදින නිවසට පැමිණියේ මාගේ මවගේ වැඩිමහල් සහෝදරයා වන මගේ ලොකු මාමා සහ ඔහුගේ පවුලේ උදවියයි. මා ලොකු මාමාට සෑහෙන්න ගෞරව කරන බව බනියාද මැනවින් දනී. වෙනත් විදියකින් කියනවනම් ලොකු මාමා ඉස්සරහ මම දෙකේ කොලේට වැටෙනවා කියල බනිය දන්නවා. තේ පානයෙන් පසුව ආගිය තොරතුරු කතාකරමින් සිටින අතර තුර මාමා අමතා කතා කල අපේ බනියා

"මාම දන්නවද ගෙදර ඉන්න කොට කාලා පිඟාන වත් හෝදන්නේ නැති අපේ දිනු අයියා. දැන් බලන්නකෝ මට කොච්චර උදව් කරනවද කියල. ඊයේ මම බලන කොට දර ලිපේ මට නාන්න වතුර නටවනවා"
අපේ ලොකු මාමාටත් ඕනා නැති රබර් බෝලයක් නැති බැවින් ඔහුද දෑස් අයා විස්තරය අසන්නට විය.
එන පොට හොඳ නැති බව වැටහුන මා මට නෙවෙයි වගේ එතනින් මාරු වී ගියත් කන පිරෙන්න ලොකු මාමාගෙන් බැනුම් ඇසීමට සිදුවූ බව ආදරයෙන් සිහිපත් කල යුතුමය. එදා සිට අද දක්වා හැම කෙනාටම ඔය සිද්දිය බනියා කියවමින් යන්නේ ලැජ්ජාවට හෝ මම මෙම පුරුද්ද නවත්වයි කියා සිතාය. නමුත් මා ලැජ්ජා නහරය කපා දමා ගොඩක් කල් ගතවී ඇති බැවින් එවැනි දෙයක් මා හට නැති බැවින්  දුම්කොළ සමාගම බංකොලොත් වෙන්න මම කටයුතු කළා කියල හිතුවද???? එහෙම නැහැ සහෝදර වරුනි අදටත් ඒ චාරිත්‍රය එලෙසින්ම ඉටුකිරීමට මා ඇප කැප වී සිටිනා බව තමුන්නාන්සේලාට මතක් කරදෙන්න කැමතියි.



බලන්නකෝඅපි වගේ තරුන පරපුරක් සිටිනකල් ලංකා දුම්කොළ සමාගම බංකොලොත් වෙනවද කියල?



          අවවාදයයි දුම් බීම පිළිකා ඇතිකරයි. 







Related Posts Plugin for WordPress, Blogger...