Tuesday 31 December 2013

හංගන් තියන්න ඕනේ ජං* ප්‍රදර්ශනයේ දැමු බෝඩිම් කෙල්ලෝ

මේ කතාව මට හදිස්සියේම මතකෙට ආවේ ජෝන් අයියගේ අක්කලව කිච කිරීමේ කතාව කියෙව්වට පස්සේ මේ සිද්දිය වෙලාඅ මේ වෙන කොට අවුරුදු බරගානක් වෙනවා. ඒ නිසා මෙය පලකරාට කමක් නැහැයි කියලා මට හිතුන නිසයි මෙය අකුරු කරන්නට අදහස් කලේ. කතාව කියන්න කලින්ම මට මෙහි සිදුවීම ගැන පොඩි ගැටළුවක් තියෙනවා. මොකද ඒ සිද්ධ වෙච්චි දේ සාධාරණද නැද්ද කියන එක පිළිබඳව. අද වෙනකල් මේ සිදුවීම ගැන දෙගිඩියාවෙන් සිටියත් අද ඒ පිළිබඳව තීරණය කිරීම ඔබට භාරයි.



අපේ පරණ ගෙදර තිබුනේ කිරුළපන සිද්ධාර්ථ පාරේ. අප රටින් පිටව සිටිනා බැවින් නිවසේ ආරක්ෂාව සලකා මගේ පියතුමා විසින් එය රැක බලාගෙන වාසය කිරීම සඳහා අපේ නැන්දා කෙනෙකුට (ටිකක් දුරින්) භාර දුන්නා. කිරුළපන පිහිටි ඔවුන්ගේ හෝටලයේ (කෑම කඩයේ) වැඩ වලටත් එය පහසුවක් වුනු බැවින්. කට්ටියට මතක ඇතිනේ මගේ අතිජාත ඥාති සහෝදරයා හුලං ගැරඬියාව. ඒ කිව්වේ අපේ දමියව ඉතිං මේ දවස් වල මේකාත් රිංගගෙන හිටියේ මේ ගෙදර තමයි. මොකද බුවාට ඉස්කෝලේ යන්න ලේසි නිසා. පස්සේ කාලෙක බුවාව ආපහු ගෙන්න ගත්තේ බීමට ඇබ්බැහිවීම නිසයි. කොහොමින් කොහොම හරි මමත් නිවාඩු ගිය දවසේ පටන් මෙහෙ තමයි කල් ගෙව්වේ. මොකද දමියා ඉන්න නිසා මටත් කිසිම පාළුවක් තිබුනේ නැහැනේ. උඩ තට්ටුවේ කාමර දෙකක් අපි දෙන්නට දීලයි තිබුනේ අපිට අපේ නිදහසේ ඉන්න. උඩ තට්ටුවට යන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් ගේ ඇතුලින් අනෙක පිටින් අපි ඉන්න දවස් වල මේ ඇතුලෙන් තියෙන මාර්ගය අපි දොර වහලා ලොක් කරලයි තිබුනේ. මොකද අපි දෙන්න හවස බොන කොට හදිසි කඩා පැනීම් ඇතිවීමට ඇති අවස්ථා අවහිර කිරීමට. 

මේ ගෙදරට අල්ලපු ගෙදර විවිධ රැකියාවල් කරන ගැහැණු ළමුන්ට නවාතැන් දෙන බෝඩිමක් හැටියට පවත්වා ගෙන යනවා (අදටත්). අද කාලේ හැටියට ඉතිං අමතර ආදායමක් නැතිව ජීවත් වෙන්නත් බැහැ නොවැ. අපේ හවස් කාලය ගත වුනේ බැල්කනියේ තමයි ඒ මොකටද කියල අහන්න එපා ඕනේ විදියකට හිතාගන්න එකයි ඇත්තේ.......

ඔන්න ඉතිං වල් විදියටමනේ හිතන්නේ. ඇත්තම කාරනාව නම් එළියේ තියෙන බට පඳුරෙන් එන සුළඟ අපේ බියර් බෝතලේ සූර් ඩබල් කරන්නට අපිට උදව් කල නිසයි බොලව් අපි එළියේ බොන්නේ. අපි මේ සාන්ත දාන්ත බෝ පැල වගේ කොල්ලෝ දෙන්නෙක්. අනෙක අපේ ලයින් පාරකට සෙට් වෙන වයසේ කෙල්ලෙක් ඒ බෝඩිමේ හිටියේ නැහැ කියලත් කණගාටුවෙන් වුනත් කියන්න සිද්ධ වෙනවා. නැත්නම් ඉතිං අපි බැල්කනියෙන් හෙලවෙන එකක් නැහැ. 

මොවුන් රෙදි වැල් බැඳලා තිබුනේ අපේ තාප්පෙටත් උඩින් මේ රෙදි වැල් වල කවදාවත් රෙදිනැතිව නම් දකින්නට ලැබිල නැහැ. මෙහෙම ඉන්නකොට අපේ මාමගේ දානෙත් සෙට් වුනා ඉතිං පිරිතක් කියවලාම දානේ දෙන්න තමයි කෂ්ටිය අදහස් කලේ. පිරිත්දා හාමුදුරුවරු වඩම්මපු වාහන ලේසියට ඔවුන්ගේ වත්තට දාල හැරවීම සම්බන්දයෙන් මේ ගෙදර අයිති කාර කාන්තාව නැන්දාට දෝස් මුරයක් දාල තියෙනවා. ඇය පෙන්තකොස්ත ආගම අන්තවාදීවිදියට අදහන්නියක්. අය කොහොමත් හාමුදුරුවරු හෝ බුදු දහම ගැන එතරම් ප්‍රසාදයක් දක්වපු කතක් නෙවෙයි. මේ බහින් බස් වීම කොහොම හරි සෑහෙන්න දුරදිග ගියා මොකද අපේ නැන්දා බොහොම බුදු දහමට ලැදි කාන්තාවක් කොතරම් පාඩු වුනත් අනිවාර්‍යයෙන්ම පෝය දවසට කඩේ වහලා පන්සලට සිල් සමාදම් වෙන්න යන. එදායින් මේ සිදුවීම අපි  අමතක කර දමා අපි අපේ රාජකාරි වල නියලුනත් මොවුන්ගේ රෙදි වැනීමේ වෙනසක් සෑම දෙනා හටම දැකගන්නට ලැබුනා ඒ ඔවුන්ගේ සෝදපු යට ඇඳුම් (කාන්තා) 


වලේ අපේ නිවස පැත්තට වෙන්න වැනීමයි. මෙය ඉතා ජුගුප්සාජනක දර්ශනයක් වුනා අපේ නැන්දනියට. සතියක් පමණ ඉවසා මේ පිළිබඳව එහි නේවාසික යුවතියන් කිහිප දෙනෙක්ටම පැවසු මුත් කිසිඳු යහපත් ප්‍රතිචාරයක් නම් ඔවුන්ගෙන් ලැබුනේ නැහැ.


දිනක් නැන්දාගේ ඔය සමිති සමාගමක මිතුරියන් පිරිසක් පැමිණි දිනක මෙය දැක, ඔවුන් ඇයගෙන් මේ පිළිබඳව විමසා අප්‍රසාදය පල කරලා තියෙනවා. එදින ක්‍රීඩා කොට අප නිවසට පැමිණෙන විට ඇය සිටියේ කෝපයෙන් පුපුරු ගසමින්. නා පිරිසිඳු වී අප පැමිණි පසු ඇය අපට පැවසුවේ කොල්ලනේ මේක බලන් ඉඳල හරියන්නෙ නැහැ මොකක් හරි කරන්න වෙනවා. මම හෙට උදේ යනවා පොලිසියට මේ ගැන ඇන්ට්‍රි එකක් දාන්න. මුන්ට ලැජ්ජාවක් නැත්නම් අපිවත් ඒක උන්ට උගන්න ඕනේ මුන්ගේ ගෙදර වුනාට මේක අපිත් එක්ක තරහටම කරන වැඩක්. නැත්නම් මීට කලිනුත් වන්න එපැයි යැයි පවසද්දී


  සැමදා මැද්දෙන් පැනීමට පුරුදු වී සිටි දමියා පොඩ්ඩක් ඉන්න නැන්දේ මම මොනවා හරි ඕකට කරන්නම්. ඔය වගේ දෙකට පොලීසි ගිහින් වැඩක් නැහැ අපිටමයි ලැජ්ජාව. මේකට ක්‍රමයක් අපිම හොයමු යැයි පැවසීය. මට නම් සිතුනේ මේ දමියා ඉල්ලන් කෑමට යාමක් ලෙසටයි. පැයකට පමණ පසුව පරණ බඩු දමා ඇති කාමරයට ගිය දමියා එලියට පැමිණියේ ස්ප්‍රේ ගන් එකක්ද අත ඇතිවයි. කුස්සියට ගොස් වතුරට යම් දෙයක් දමා එයින් ස්ප්‍රේ ගන් එකට වතුර පුරවා ගෙන මාත් සමග බැල්කනියට ගිය දමියා වැලේ ඇති ඇඳුම් දෙසට එය විදින්නට විය. ලීටර් බාගයක් පමණ වූ එම බෝතලයේ වතුර හිස් වන තෙක්ම විද්ද පසු වරෙන් මල්ලි දැන් නිදාගන්න යමු යැයි පැවසීය. 

 පසු දින උදයේ පාන්දරම නැගිට ගත් දමියා මාවත් ඇදන් බැල්කනියට ගියේ වරෙන් උඹට පොඩි කොමඩි ෆිල්ම් එකක් පෙන්වන්න යැයි පවසමිනි. අපේ අසල් වැසියන්ගේ ගෙදර යම් කිසි කලබල ගතියක් පෙනෙන්නට තිබිණ කෑ ගැසීම් ආදියත් වරින් වර අසන්නට ලැබිණ. සියල්ලන් බාත් රූම් එකට පොරකන අයුරුත් දෙස් තැබීම් සහ ශාප කිරීම් කරන හඬත් අපිට ඇසින. "මලේ උඹ දන්නවාද මම මොනවද ඊයේ ස්ප්‍රේ කලේ කියලා" යැයි මගෙන් ඇසීය. මා නැතැයි කී විට මගේ කනට කොට කී දෙයින් මට සියල්ල වැටහිණි. ඔහු ඊයේ වතුරේ දිය කර ඇත්තේ තද ගම්මිරිස්ය එයත් තද සාන්ද්‍රනයෙන්. අනේ අර කෙල්ලොන්ගේ ..............

 

මේ පිළිබඳව නැන්දාටත් දිවගොස් පැවසු විට ඇයටත් සිනහව නවත්වා ගැනීමට නොහැකි විය. හදිස්සියේ වත් ඔවුන් රණ්ඩුවට ආවොත් මොකද කරන්නේ යැයි ඇසුවේ මා තරමක් බියට පත් වී සිටි බැවිනි. "උඹල බය වෙන්න එපා ඒක මම බලාගන්නම්" යැයි නැන්දා පැවසු බැවින් අපේ බිය තුරන් විය. රණ්ඩුවක් බලාපොරොත්තුවෙන් අප සිටියත් දින කිහිපයක් ගත වුවත් කිසිත් සිදු නොවූ බවත් එදිනම ඒ අලංකාර රෙදි වැල ඔවුන් ඉවත් කරගෙන ඇති බවත් දැකගන්නට ලැබිණි. මේ හේතුවෙන් අපේ හුලං ගැරඬියා (දමියා) පවුලේ වීරයෙකු බවට පත් වින. ඔහු ඒ සිදු වීම කිසිවෙකුට පවසද්දී. තාර බර සමග කොමාන්ඩෝ චිත්‍රපට කතාවක් විලස ගොතා පවසමින් එම සිදුවීම අර කාකු පිහාට්ටේ කතාව කාක්කෝ හත් දෙනෙක් වූවා මෙන් විය. 



කෝරලේ වලව්වට ගොඩවැදුණු ඔබටත් සියලුම ශ්‍රී ලංකා වාසීන්ටත් සියලු යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවෙන, සියලු සිහිණ සැබෑකර ගැනීමට හැකිවෙන  සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!





Sunday 22 December 2013

බම්බු ගහනවා. (කොහෙද?) ඉටිකිරිස් ඉන්දියන් කෑල්ල

හප්පේ මකුණු දැල් කඩන්නම ගියා වරුවක් විතර මේ මකුළුවෝ කියන්නෙත් කැත සත්තු ජාතියක් අම්මපා...... ටික දවසක් නෑවිත් හිටියම මුන් බ්ලොගේ දැලුත් බඳිනවානේ........ ඔන්න කොල්ලනේ කෙල්ලනේ සකල සිරින් පිරි සිරි ලංකාවේ මහා රජ තුමා (දැන් ඉන්න බුවා නෙවෙයි මම කියන්නේ එකදාස් හයසිය ගණන් වල හිටපු උන්නැහේ කෙනෙක් ගැන) විසින් කෝරලේ තනතුරට පත්කළ කෝරලේ ගොයියා පොස්ටුවක් ලියන්නට බැස්ස වගයි. පහු ගිය ටිකේ ලියන්නට බැරි වුන හේතුව ටික දෙනෙක් දන්නවා නොදන්නා අයට දැනගන්නත් එක්ක ලියලම දානවා කියල හිතුවා. කෝරලේ මහත්තයට අවුරුදු බර ගානක් කොම්පැනිය වෙනුවෙන් කැඹිරීමේ ප්‍රතිපලයක් ලෙස විදේශ සංචාරයක් ලැබුනා පිණාවට. (නැතුව අපේ ලොක්ක බ්ලොගේ බලල සංතෝසෙන් එහෙම දුන්නු එකක් නෙවෙයි) ඒකත් ලැබුනේ සෙල්ලම් රටකට නෙවෙයි මට පෙන්නන බැරි කවදත් වෛරයෙන් හිතන  ඉන්දියාවටමයි. බලහල්ල කෝ ඒකෙත් හැටි............. ඉතින්  මේ ඉන්දියාවේ ගතකල දවස් 18 මට නිකන් අවුරුදු 18 වගේ දැනුනේ ඇයි කියලයි මම තාම කම්පනා කොරන්නේ. අම්මප හෝම් සික් එක කියන දේ ජීවිතේ පලවෙනි වතාවට මට හැදුනයි කියහන් කෝ.... 


කොහොමින් කොහොම හරි අවුරුදු ගානක් ඔෆිස් එකේ අයිස් ගහපුවට හරියන්න පෝරියල් එක සෙට් වුනා උදේ පාන්දර ඉඳන් රෑ 10 - 12 වෙනකල් වැඩ කොරන්න. ඒකත් නූලට තිතට කෙරෙන්න ඕනේ මොකද රජයත් සම්බන්ධ ව්‍යාපෘති යක් නිසා. ඒ හින්දා අපේ මායියා වෙනුවෙනුත් මම වෙන්කොරල තිබුනේ දවසින් විනාඩි 20ක් විතර තමයි. බැංගලෝර් නගරයේ ගුවන්තොටුපොලේ තමයි රාජකාරි කොලේ. ඒ පිලිබඳ තාක්ෂණික පැත්තෙන් පොස්ටුවක් නිවාඩු පාඩුවේ දාන්නම්. කොහොමින් කොහොම හරි කෝරලේ මහත්තයට සෙට් වුන ගෝලයෝ ටික නම් අදහන්න වටිනවා නිකන් නෙවෙයි මල් පහන් තියලා. ඇත්තටම මුන් අයිටී දෙපාර්තමේන්තුවට නෙවෙයි ප්ලේන්ටී දෙපාර්තමේන්තුවට වත් සුදුසු කම් නැති එවුන්. කොහොමින් කොහොම හරි ගිය වැඩෙත් කොරලා ගෝලයෝ ටිකත්  පුහුණු කරලා  දෙපාර්තමේන්තුවත් රාජකාරි මට්ටමේ කටයුතු වන තැනක් විදියට ස්ථාවර කොලේ හැකි ඉක්මනින් ගෙදර එන්න බලාගෙන. නමුත් කල හොඳ පස්සෙන් එලවනවා වගේ අපේ අධ්‍යක්‍ෂක වරයා ඉන්දියාවේ ප්‍රාදේශීය කලමනාකර තනතුර මගේ ඔලුව උඩින් තිබ්බා කටු ඔටුන්නක් කරලා. ඕකෙන් මේකෙන් වෙන්නේ මාසෙකට දෙකකට සැරයක් ඉන්දියා ගිහින් බඩේ අමාරුව හදාගෙන එන්නයි. මෙලෝ රහක් නැති උසස්වීමක්.

මෙන්න මේ අවස්ථාවේ තමයි මට අපේ සුදීක අයියව නිකන් දෙයියෙක් නෙවෙයි දේවාලයක් වගේ පෙනුනේ. මොකද උන්දා මුලින්ම කියල තිබුනනේ ඉන්දියාවේ කෑම කෑවොත් බඩේ අමාරුවක් ෆ්‍රී හම්බවෙනවා කියල. ඉතිං ගොඩක් දුරට කෑම එහෙමත් ගොඩක් තෝරලා බේරලා තමයි කෑවේ බිව්වේ. දවසක් නවාතැන් පලේ කෑම කාල කාල ඇතිවෙලා හිටපු එකේ පොඩි වෙනසකටත් කියල එළියෙන් මසාල තෝසේ පාරක් දාල බාබුල් එකක් එහෙම කාලා පොඩි දත් කූරක් එහෙම කටේ ගහගෙන පොඩි රවුමක් දාලා ආවා. ආව තමයි ආයෙම ඩුබායි එනකන්ම හොද වුනේ නැති ඒ වාසනාවන්ත බඩේ අමාරුව කතා කරලා වැඩක් නැහැ පිංවතුනි තත්වය සෝචනීයයි. ඉතින් අපේ උන්දැගේ වැඩෙත් එන්නේ කවද්ද එන්නේ කවදද කියා කියා කියවන එක වෙච්චි. ඉවසන් ඉන්න එකෙත් එක්තරා ලිමිට් එකක් තියෙනවනේ එහෙන් බඩේ අමාරුව වැසිකිලියෙන් හෙල්ලෙන්න දෙන්නේ නැහැ. අරහෙන් කොම්පැනි කාරයෝ එන්න දෙන්නේ නැහැ. මෙහෙන් මායියා කනක් ඇහිලා ඉන්න දෙන්නේ නැහැ. මේ තුන එක්කාහුවෙලා මගේත් අර්ශස් තද වෙලා මායියාට කියල දැම්ම මම එන්නේ නැහැ මෙහෙම ඉන්නයි කල්පනාව කියලා. 


මෙන්න බොලේ අබ පුපුරනවා වගේ අපේ මායියා කියපි නැතැයි. එහෙනම් ඕනේ බම්බුවක් ගහගන්න එකයි ඇත්තේ. ඉන්න විතරක් නෙවෙයි ඉන්දියන් එලිච්චියෙක් හොයාගෙන කසාදෙකුත් බැඳගන්න කියල. එලිච්චියෙක් කොහොම වෙතත් ගැටිස්සියෙක් හිටියනම් ඇති කසාදයක් කොරගන්න. නැද්ද මන් අහන්නේ........  අම්මප ඔච්චර ඉටි කිරිස් කෑලි ඉන්න ඉන්දියාවේ මට හරියන එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැයි කියලත් ලාවට වගේ හිතුනා.   අපේ උන්දා මේක කියෙව්වොත් අද රෑ පිලේ තමයි නිදියන්න වෙන්නේ. එකත් බඩගින්නේ :( මේ බම්බු ගහනවා කියලා හැමෝම වගේ කියනවා ඇහුනට කීයෙන් කී දෙනාද දන්නේ මේ බම්බු ගහනවා කියන්නේ මොකක්ද කියලා. මේ ගැන කතා කරද්දී අපට මතුවෙන ගැටළු තමයි 

  1. බම්බු හෝ බම්බුව යනු මොනවාද? 
  2. ගහන්නේ කොහේද????? වෙන වෙන අදහස් එහෙම ගන්නවා එහෙම නෙවෙයි
අපේ ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක් කිව්වොත් නිවැරදියි. මේ  වෙනකොට  නම් මේ කියමන වෙනස් කරන්න කාලේ ඇවිල්ලාදෝ.... කියලත් හිතෙනවා. කොහොම වුනත් ගොවියාට තිබිලා තියෙන්නේ ඉහල තැනක්. දැනටත් ඔය භාවිතා වෙන කුලමල සෙවීමේදීත් ගොවිගම කියන්නේ ඉහල කුලයක් ලෙසටයි සැලකෙන්නේ. ඉතිං මේ ගොවිතැනට ගොවියන් හට බෙහෙවින්ම උපකාරී වුන සතෙක් තමයි ගවයා කියල කියන්නේ. අද කාලේ වගේ හන්දි  හන්දි ගානේ හරක් මරණ කාලයක් නෙවෙයි ඒ කාලේ ඉතිං මේ ගවයා කියන සතා කියන්නේ අපේ ගැමි ජනතාවට නිකන් කප්රුකක් වගේ හිටපු සතෙක් මලාට පස්සේ හමෙනුත් වැඩගන්නවා (ඇයි බෙරහදන්න).ඉතිං මේ හරක් වුනත් අසනීප වෙනවනේ. හැමදාම එකම විදියට ඉන්නේ නැහැනේ නේද? ඉතිං මේ හරක් අසනීප වුනාම බෙහෙත් කරන්න ඕනේ වැඩියෙන්ම අසනීප වෙන්නේ හරක් පැටව් තමයි. මිනිස්සුන්ගේ වුනත් පුංචි දරුවොනේ ඉක්මනින් අසනීපවලට ගොදුරුවෙන්නේ මේ සත්තුන්ටත් ඒක පොදුයි නොවැ.


ඒ කාලේ මේ දැන් වගේ හන්දි හන්දි ගානේ පශුවෛද්‍යවරුන් හිටියේ නැහැ  දොස්තර විභාගේ අමාරු වුන උදවිය තමයි මේ පශුවෛද්‍යවරුන් වෙන්නේ කියල කතාවකුත් තියෙනවා. ඔය අපේ ගමේ ගොඩේ උදවිය පශුවෛද්‍යවරුන් හඳුන්වන්නේ  බලු දොස්තර කියන නමින්. බල්ලන්ට වෙදකම් නොකලත් බලුදොස්තරලත් අපේ සමාජේ බොහොමයක් ඉන්නවා. ඔය ස්ට්‍රයික් එකක් එහෙම කරන වෙලාවට ඔක්කොම ඉතිං බලුදොස්තරලා තමයි රෝගීන්ට.  (ඔන්න ඉතිං ට්‍රැක් එක පැන්නනේ සහෝදරයා එකනේ තමුසේ එක්ක කොරන්න බැරි.) හරි.... හරි... ඉස්සර නම් මේ සත්තුන්ට වෙදකම් කලෙත් ගමේ වෙදමහත්තයාම තමයි. සිංහල වෙදකම් කරලා තියෙන උදවිය දන්නවා ඇතිනේ සිංහල බෙහෙත් වර්ග මොනවද කියලා කසාය, කල්ක, ගුලි, (මෝදකේ නෙවෙයි) අනම් මනම් ගොඩයි. ඉතිං මේ හරක්ට මෙව්වා බොන්න කිව්වට බොන එකක්යැ..... ඒකනේ හරක් කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා බලෙන් පොවන්න නැත්නම් සතාගේ ජීවිතේට වුනත් හානි වෙන්න පුළුවන් නේ....  හරකාගේ කකුල් අතපය බැඳලා බිම පෙරලලා සෑහෙන්න සටනක් කරලා තමයි බෙහෙත් ටික පොවන්න ඕනේ. අද කාලේ නම් කරන්නේ හරකාගේ අතපය බැඳලා බෙල්ල කපන එකනේ ඒකත් හලාල් ක්‍රමයට එතකොට හරකට රිදෙන්නේ නැහැලු. ඔන්න ඔය අවස්ථාවේදී වෙද මහත්තරු පාවිච්චි කරනවා හොඳට පදම් කරලා, මැද කොටස  සුද්ද පවිත්‍ර කරලා ගත්ත උණ බටයක්. මෙන්න මේ බටේ හරකාගේ උගුරට දාලා තමයි ලු බෙහෙත් පොවන්නේ. මේ කෙරුවාවට තමයි බම්බු ගහනවා කියලා කියන්නේ. ඉතිං හොඳින් කරන්න බැරි දෙයක් අත පය බැඳලා බිම පෙරළාගෙන බලෙන් කට අරවලා බෙහෙත් පොවන එකටයි බම්බු ගහනවා කියන්නේ. මෙය කියමනක් ආප්තෝපදේශයක් (වචනේ හරිද දන්නේ නැහැ වැරදිනම් නිවැරදි කරන්න) හැටියට ප්‍රචලිත වෙලා තියෙන විදියක් තමයි පෙනෙන්නට තියෙන්නේ. නමුත් මෙහි ඇති වරද නම් අද කාලේ තැනක් නොතැනක් නැතිව බම්බු ගැසීමයි.




මට මේ නිධාන කතාව එහෙම නැත්නම් මේ වචනේ හැදිලා තියෙන්නේ කොහොමද කියන එක දැනගන්ට ලැබුනේ වර්ෂ 2004 ලංකාවට නිවාඩුවක් ගිහින් ඉන්නකොට මට අවස්ථාවක් ලැබුනා අපේ ලොකු මාමා එක්ක  තරුණ සේවා සභාවේ තිවුන සම්මන්ත්‍රණයකට යන්න. මෙහි හිටපු දේශක මඩුල්ලේ කෙනෙක් තමයි මේ කතාව කිව්වේ ඒ වෙන කවුරුවත් නෙවෙයි සිංහල විෂය පිලිබඳ විශේෂ උපාධියක් හිමි








හසන්ත හෙට්ටිආරච්චි මහත්මයා 


මේ පොස්ට් එක ලියවෙන්නේ එදා ඒ මහත්මයා කියලා දුන්නු දැනුම නිසාවෙන්. මම ඒ පිළිබඳව හසන්ත මහත්මයාට ස්තූතිවන්ත වෙනවා.

ඔන්න දැන් බම්බු ගහන්න කලින් අපේ උදවියට ටිකක් හිතන්න වෙනවා. ඔය වචනේ ගැලපෙන උදවියත් අප අතර නැතුවාම නොවෙයි.




Related Posts Plugin for WordPress, Blogger...