අද මට මේ කතාව ලියන්න හිතුනේ දේශාගේ ඩයරි කතාව දැකලා. මේක වෙලත් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මාව මේ කරදරේ දැම්මේ වෙන කවුරුවත් නෙවෙයි මගේ මස්සිනා හුළං ගැරඬියා තමයි. මු ඒ දවස් වල ඔය ලස්සන ලෙදර් කවරයක් තියෙන ඩයරියක් පැන්සලකුත් එක්ක යන යන තැන අරන් යනවා ඕකා කොහොමත් සුපිරි කළා කාරයා. කෙනෙක් දිහා බලාගෙන ඒ කෙනාව පැන්සලෙන් ඒ විදියටම අඳින්න පුළුවන් හැකියාවක් පොරට තියෙනවා.
( මේ වගේ නිර්මාණ තමයි ඉතින් වැඩිපුර කලේ. කොහොමත් කළා කාමියනේ )
ඒ වගේම නිසඳැස් පුදුම විදියේ ලස්සනට ලියන්නට හැකියාවක් තියෙනවා. මොකද මිනිහා ඒ දවස් වල ඉඳන්ම ප්‍රේමයේ විරහව ද මොකක්ද කියන එක උපරිමේට විඳින පොරක්. ඒ ගැනත් නොලිව්වොත් මෙතනට අඩුපාඩුවක් වෙන නිසා ලියන්නම් කෝ.
මුන්ගේ ගෙවල් ළඟ ඉන්නවා සුදු කෙල්ලෙක් පොඩ්ඩක් ඉතින් ලස්සනයි තමයි. මූට වැඩිය අවුරුදු 4 ක් විතර බාලයි. හැබැයි තියෙන එකම පරහා මේකී කොටයි. දමියා අඩි 6 කටත් වැඩිය උසයි ඉතින් දෙන්නගේ උස පරතරේ අඩි දෙකහාමාරකට වැඩියි. තනිකරම රූකඩ කේස් එකක් තමයි මුන් දෙන්නගේ තියෙන්නේ.
කොහොම හරි අපේ මාමාගෙන් මු පොලු පාරවල් කොසු පාරවල් අනන්ත කාලා ඇති ඔය වැඩේ නිසා. කොහොම හරි කතාවේ ට්‍රැක් එක පැන්නනේ ඒකෙන් මේකෙන්. ඉතින් මු අතේ තියෙන ඩයරිය මට නිකන් නිධානයක් වගේ තමයි පෙනුනේ මු මේක පරිස්සම් කලෙත් ඒ විදියටම තමයි. කොහොම හරි අපේ ලොකු මාමගේ පිහිටෙන් මමත් හොයා ගත්තා ඩයරියක්. තරුණ සේවා සභාවෙන් දීපු එකක්. මමත් ඉතින් මේකේ එක එක කවි අනන් මනං ලිව්වා හැබැයි පරහකට තිබුනේ ලිව්වේ ඉංග්‍රීසියෙන්. දවසල් මගේ ඩයරිය බලලා දමියා කිව්වා මෙහෙම හරියන්නේ නැහැ බන් ඩයරිය තියෙන්න ඕනේ ලස්සනට මේ වගේ අකුරු නිකන් බල්ලොවත් කන්නේ නැහැනේ කියලා මමත් ඉතින් මුගෙන් ගුරුහරු කම් උපදෙස් ටිකක් පැතුවා මගේ වැඩේ ලස්සනට කරගන්න
කුමරි, සිරිකත, ඕන ඔය වගේ නානාප්‍රකාර පත්තර ගොඩක් ගෙනල්ලා දුන්නු දමියා මට ඒවගේ තියෙන කවි නිසඳැස් වගේ දේවල් ලියන්න කිව්වා. මමත් කොහොම හරි බොහොම අමාරුවෙන් අකුරු ගලපාගෙන මේ වයින් දෙකතුනක් ලිව්වා. පස්සේ මේ වැඩේ හරියන්නේ නැති නිසා දමියට කියලම තවත් කිහිපයක් ලියවා ගත්තා. ඇල්පිටියේ මාමලාගේ ගෙදරින් අපි ආවේ ලොකු මාමලාගේ ගෙදරට. එහෙත් දවස් කිහිපයක් නැවතිලා ඉන්න වෙන්නේ අම්මගේ සහෝදරයින්ගේ ගෙවල් වල දවසක් හරි හිටියේ නැත්නම් ආඩපාලි අහන්න වෙන නිසාලු අරහේ ගියා මෙහෙ ගියේ නැහැ අරව මේවා කියලා. ඉතින් අපි ලංකාවට බැස්ස ගමන් මුලින්ම කරන්නේ නෑ ගෙවල් වන්දනාවේ යන එකනේ. ආයෙම කතාවෙන් පිට පැන්නා.
මෙහෙ ආවම මට තිබුණු එකම වැඩේ අහල පහල ගෙවල් වල පොඩි උන් සෙට් එකත් එක්ක සෙල්ලම් කරන එක. දවසක් මම සෙල්ලම් කරද්දී එතන තිබුණු ඉස්කෝලේ පිට්ටනියේ. එතනට ආව අපේ ලොකුඅයියා (අර පොලිස් බුවා) සුදු මෙහෙ වරෙන් යන් අන්න තාත්තා එන්න කියනවා කියලා කතා කරා. මම පොඩ්ඩක් පුදුමෙන් බැලුවේ මොකද යකෝ මේ විදියට මු මට කතා කරන්නේ කියලා. පොඩි කුතුහලයකුත් හිතේ තියාගෙන බයිසිකලේට නැග්ගේ අර ඇහැටුල්ලගේ මූනවත් බලන්නේ නැතිව මොකද උගේ කටේ තිබ්බ කින්ඩ් හිනාව මට දැනටත් මතක් වෙද්දී කේන්ති යනවා.
ගෙදරට එද්දී ඔක්කොම සාලෙට වෙලා අපේ ආච්චි කම්මුලට අත තියාගෙන. අම්ම ඉන්නවා මූණ දෙක කරගෙන. තාත්තා නිකන් අබ අහුරක් දැම්මත් පුපුරන සයිස් එකට මූණ හදාගෙන ඉන්නවා අතේ මගේ ඩයරියත් තියාගෙන.
"මොනවද බොල මේ ලියලා තියෙන්නේ? "
මූණ හඳක් වගේලු අරක මේක වගේලු මේක අරක වගේලු...... යකෝ වයසටද මුගේ වැඩ? හප්පේ කොනක ඉඳන් බැනුම්.
මම දැනගෙන ලියපුවද කෙහෙල් මල කොහොමින් කොහොම හරි මගෙන් අගමුල හොයාගෙන දමියටත් බැනුම් අහන්න උනා නොසෑහෙන්න. එදා මෙදා තුර කවදාවත් මම නෙවෙයි ඩයරියක් පාවිච්චි කරන්නේ.