Showing posts with label පලිගැනීම්. Show all posts
Showing posts with label පලිගැනීම්. Show all posts

Monday, 24 March 2014

ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-2 වන කොටස

පලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලල එන්න 


නස්තාර් වෙන්න වැදිලා හිටපු මට සිහිය එද්දී මම හිටියේ වෑන් එක ඇතුලේ. කළුවරත් වැටිලා....... සිද්ද වෙච්චි දේවල් මතකයට නගාගන්න හැදුවත් කිසිම දෙයක් හිතාගන්න බැහැ ඔලුවත් කැරකෙනවා වගෙයි චමියා පිටිපස්සේ ශීට් එකේ ඉඳන් කඳන් ඉරනවා වගේ ගොරවනවා. බීච් එකේ ගල උඩ නිදාගෙන හිටපු මම කොහොමද හොදට ආවේ. මම ඇඳුම් මාරු කරගත්තේ කොහොමද...... හිත හිත ඉන්න අතරේ මට ආයෙම නින්ද ගියා. ආපහු ඇහැරුනේ මිනිස්සු වගයක් කතාකරන සද්දෙට. කවුද මගේ ඔළුවේ මොනවද ගානවා බැලුවාම බනියා මගේ ඔලුවේ දෙහිගානවා වෙරි බහින්න. :O එළියේ වෙන්නේ මොනවද කියල බලන්න මම වාහනෙන් එලියට බැස්සා. හැරා තව මිනිස්සු දෙතුන් දෙනෙකුත් එක්ක එකතුවෙලා වාහනේ මොනවද කරනවා. මාව දැක්ක හැටියේම හැරා "බලන්න මල්ලි මේ කෙහෙල්මල තල්ලුවෙන්වත් ස්ටාර්ට් වෙන්නේ නැහැනේ..... අනෙක බැටරිය සම්පූර්ණයෙන්ම බැහැල දැන් රෑ පාරේ යන්න බැහැ ලයිට්වත් දාන්න විදියක් නැහැනේ".... මොනවදෝ කිරීමෙන් පසුව නැවත වතාවක් තල්ලු කිරීමෙන් එන්ජිම පණගැන්වීමේ නිරර්ථක උත්සහයක අපි නිරත වුනා කාලය ගතවෙද්දී එතනට තවත් මිනිස්සු එකතු වුන අතර ඒ අතර ගොඩ වෙද්දු, හොර බාස්ලා නොයෙක් අන්දමේ අදහස් ප්‍රකාශ කරන්න වුනා (වාහනේ ලෙඩේ ගැන). කිහිප දෙනෙක් හිටියේ බීමතින් බව ඔවුන් වෙතින් හැමුව නිර්මල (?) කසිප්පු සුවඳින්ම තේරුනා.

කෙසේ හෝ එතන හිටිය පුද්ගලයෙකු සමග මම ළඟ ඇති ගරාජයකට ගියේ එහි මැකෑනික්වරයා කැඳවාගෙන එන්න. මැකා වාහනය පරීක්ෂා කරන අතර තුර එතන හිටිය ඩෝපර් කෙනෙක් අසැබි වදන් වලින් බැනවදින අයුරු මට ඇහුනා ඔහු පැමිණ සිටියේ මැකාව එක්කගෙන යන්නයි. අපි ගරාජයට යනවිට මැකා සිටියේ අම්බලන්ගොඩ කොළඹ ඒසී බස් එකක මොකක්දෝ වැඩක් කරමිනුයි. අපේ තත්වය පවසා වැඩක් විදියට නොව උදව්වක් විදියට මෙය සලකා අප සමග එන ලෙස මම මැකාගෙන් ඉල්ලු පසුව තමයි ඔහු අපිත් එක්ක ආවේ. මේ පැමිණි පුද්ගලයා එම රථයේ රියදුරා බව ඔහුගේ කතාවෙන් අපිට තේරුනා. ඔහු මැකාට දොස් නගමින් කියා සිටියේ මේ හු*** කරන්න කලින් යකෝ මගේ වැඩේ ඉවර කරපන් හෙට මම පාරේ දුවන්න ඕනේ. එවිට එතනට ගිය හැරා ඔහුව සන්සුන් කිරීමට හැදුවත් ඔහු හැරාව පසකට තල්ලු කරලා දැම්මා. මේ සිදුවීම දැකීමෙන් මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය අතර මා නැගිට එන අයුරින්ම ඩෝප් සීන්ට මා එන්නේ හොඳකට නෙවේ යයි අවභෝද වී මට පහර දීමට පැමිණියා. අතපය එහාට මෙහාට විසිවීමෙන් අනතුරුව ඩෝපර් බුවාව පාරේ හාන්සි කිරීමට මට හැකිවුනා.(කෝරළේ කියන්නේ නිකන්ද?)  මේ රණ්ඩුව අතර තුර මා අල්ලා ගැනීමට පැමිණි හැරාගේ කමීස කොලරයෙන් ඇල්ලු මා ඔහුව ඔසවා පසක තැබූ අතර අදටත් ඔහු එය විස්තර කරන්නේ ක්‍රෙන් එකකින් උස්සල තිබ්බා වගේයි මට තේරුනේ යයි කියමිනි. (මේකා සැහැල්ලුයි වැඩි බරක් නැහැ. අනෙක වලියකදී මාව අල්ලගන්න එන එවුන් මට පෙන්න බැහැ මොකද උන් නිසයි මට ගුටිකන්න වෙන්නේ)  මේ වන විට මැකා ඔහුගේ වැඩ කටයුතු නිම කර තිබු අතර  තාවකාලික ඇටවීමක් දැමූ බව පැවසු ඔහු විගසින් අපිට පිටත්ව යන ලෙසත් ඩෝපර් බුවා ඒ පළාතේ දාමරික පුද්ගලයෙකු බවත් ඔහු නැවත ඔහුගේ ගෝල බාලයන් සමග පැමිණීමටඉඩ ඇති බැවින් නොනවත්වා අපිට යන ලෙසත් පැවසීය.



ඒ අතර පිටුපසින් ඇසුනේ අයියේ.......... අක්කා කලන්තේ වෙලා වැ....ටු......නා යයි මල්ලිලාගේ කෑ ගැසීමයි. විගසින් දුවගොස් බනියා වත්තම් කොටගත් මා වාහනයට ගොඩවූ අතර හැරා එතන සිටි පුද්ගලයන්ට ස්තූති කිරීමෙන් අනතුරුව දුවවිත් වාහනය පණගන්වාගෙන ධාවනය කරන්නට විය. බනියා තවමත් පසුවන්නේ සිහිමද ගතියෙනි. මුහුණට වතුර ගැහුවද පලක් වූයේ නැත. වහාම හැකි ඉක්මනින් ඉස්පිරිතාලයක් කරා රැගෙන යන ලෙස මා පවසූ විට හැරා කීවේ මල්ලි මේ කට්ට කරුවලේ ලයිටුත් නැති පාරක හයියෙන් යනවා කියන්නේ වාහනේ හැප්පීමේ අවධානමක් ඇති බවයි. මොන අවධානමක් වුනත් කමක් නැහැ වාහනේට හෙණගහපුදෙන් පාගන්න පුළුවන් උපරිම පාගපන් අයි.......යේ. යැයි මම හැරාට කීවෙන් හැරාද පිස්සු බල්ලෙකු විසින් ලුහුබඳින මිනිසෙකු මෙන් වාහනය අරන් බලපිටිය රජයේ රෝහලට පැමිණියේය. බනියාව ට්‍රොලියකට දමා හදිසි අනතුරු ඒකකයට ගිය අතර ඇයව ECG පරීක්ෂණයකට ලක් කරන ලෙස දොස්තර මහතා පැවසීය.






මේ ECG රිපෝර්ට් එක එන (මට එක එන තාලේ දිරෙව්වෙ නැහැ :D )   අතරතුර මමද ක්ලාන්ත වීමට ගියෙන් චමියා වහාම පැන මා අල්වා ගත්තාය. ඇයගේ රිපෝර්ට් එක නොර්මල් බවත් රණ්ඩුව දැකීමෙන් ඇතිවූ අධික කම්පනය නිසා ඇය ක්ලාන්ත වූ බවත් දොස්තර මහතා පැවසීය. මමත් ක්ලාන්ත වන්නට ගියේ බනියා සිටි අන්දම මටද දරාගත නොහැකි වූ බැවිනි. රෑ 12 කණිසම ලබද්දී හතර වටින් රතිඥ්ඥා පත්තු වන්නට වූ අතර ඒ ජනවාරි 1 වෙනිදා උදාව බව අපිට වැටහිණි. බනියාට සේලයින් බෝතලයක් දී ඇයව රැගෙන වාහනයට ආ අපි නැවත කළුතර බලා යන්නට වූයේ ඉතා සෙමිනි. මග දිගින් දිගටම සියලුම දෙනා මට විහිලු කරන්නට වූයේ විනාඩි කිහිපයක් ඇතුලත ඩෝපර්ව බුවාව හාන්සි කල එකා ඉස්පිරිතාලේදී ECG එකක් ගන්න තාලේ දැකලා ක්ලාන්ත වීමට හේතු විමසමිනි. ඇයි යකෝ අච්චර ෆයිට් එකක් දීල කසාද බැන්ද කෙල්ල අසනීප වෙලා ඉන්නවා බලන්න පුළුවන් මොකාටද මම අහන්නේ????

ඔන්න ඔහොම පප්පල ටික යන අතරේදී සුදීක පප්පලාගේ මහා ගෙවල් හරියේ තියෙන බෙන්තර පාලමට පෙර ඇති පොලිස් මාර්ග බාධකයේ හිටපු සත් ගුණවත් පොලිස් බුවාලා ටිකත් වෑන් එකට අත දැම්මේ අද නම් කල්ල මරේ කියල හිතාගෙන වෙන්න ඇති. පොලිසිය වාහනේට අත දාද්දීම හැරා මට කිව්වා මල්ලි ඔය කිසිම දෙකට කතා කරන්න එපා. නංගිව ඔඩොක්කුවේ තියාගෙන ඉන්න. මෙතන වෙන හැම දේම මම බලාගන්නම්. හැබැයි වෙන කිසිම කෙනෙක් කටක් හොලවනව එහෙම නෙවෙයි කියලා. මොකද හැරා දන්නවා මම පොලිස් කාරයොන්ට ගොඩ වෙලාවට දානවා කියලා ලෝ ටෝක්ස්. මතකයි නේ.......  ඉතින් මේ වෙලාවේ එහෙම කතා කරන්න පුළුවන් තැනකුත් නෙවෙයි. වැරදි ගොඩක් එක්ක තමයි අපි ඉන්නේ. වාහනේ ඇතුලට ටෝච් ගහපු පොලිස් මාමලා, හා......... කට්ටිය මේ පළවෙනිදා ලයිටුත් නැතිව කොහෙද යන්නේ?????  කියල හැරාගෙන් ඇහුවා. අනේ මහත්තයෝ බලන්නකෝ වෙච්ච වැඩක් මේ ඉඳුරුව හරියේදී වාහනේ ලයිට් වැඩකරන්නේ නැතිව ගියානේ. බලන්න කෝ....... දැන් රෑ එකත් පහුවෙලා අපිට කළුතරට යන්න ඕනේ. අපි සෙට් එක හිටියනම් එළිවෙනකල් හරි ඉන්නවා මේ අපේ නංගි ඉන්නවා. එයාට අසනීප වෙලා ඉස්පිරිතාලෙත් නවත්වල ඉඳන් අරන් යන්නේ. මේ බලන්න ECG රිපෝර්ට් එක යනුවෙන් හැරා ලෝකෙම නැති දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නට විය.


එහෙම කියල බැහැනේ ඔයාල මේ කරන වැඩේ අනතුරුදායකයි. දඩයක් නම් ලියන්නම වෙනවා කියල පොලිස් මාමා කිවා. අනේ මහත්තයෝ එහෙම කරන්න එපා. මේ නංගි නැත්නම් අපි මෙහෙම යන්නේ නැහැ. අපිට මහපාරේ ඉන්න බැහැනේ එහෙම ගෑනු ළමයෙකුත් තියාගෙන. (සිරාවටම බනිය හිටියේ නැත්නම් අපි එන්නේ නැහැ) මේ වාහනේ ලෙඩේ නිසා  උදේ ඉඳන් කට්ට කනවා. මේ කතරගම ඉඳල එන්නේ. කොටින්ම කියන්න මහත්තයෝ උදේ කෑවට පස්සේ මෙතන ඉන්න කවුරුවත් කාලා නැහැ. යනුවෙන් ලෝක වැල් වටාරමක් දිගහැරිය පසු එයට සවන් දීමෙන් පොලිස් මාමලාගේ පපු කැනතු වෙඬරු මෙන් උනුවූ අතර, අන්තිමේ දඩ ගැසීම (අපෙන් ගානක් කඩාගැනීම) කෙසේ වෙතත් ඔවුන්ගේ රාත්‍රී ආහාරය සඳහා තියාගත්තයි  කී ෆ්‍රයිඩ් රයිස් දෙකකුත් (කාගෙන් හෝ ගලවපු දතක් වෙන්න ඕනේ. නැත්නම් රෑ 2ට 2.30 මොන රෑ කෑමද) අපට බලෙන්ම පිරි නැමූ අතර අපි ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කලත් පිටිපස ශීට් එකේ සිටි පොඩි එවුන්ට එම බත් පාර්සල් දෙක දුන් පොලිස් මාමලා ලොරියක් නතර කොට එහි රියදුරුට ඉදිරියෙන් යන ලෙසත් කළුතරටම අපිව ඇරලවන ලෙසත් පැවසුවා. ඔවුන්ට මුව නොසෑහෙන්න ස්තූති කල හැරා වාහනයට ගොඩ වූයේ රටක් දිනු රජෙකු මෙන් ආඩම්බරයෙනි. (ආඩම්බර නොවී කොහොමද පොර පොලිස් කාරයොන්ටත් බිලක් දාපු එකෙක්)

ලොරිය පිටුපසින් ඉබිගමනින් ගමන්ගත් අපි තුන 3.30පමණ ආච්චිලාගේ නිවසට සේන්දු වුනා. පසුදා උදෑසන 7ට පමණ අවදි වී කීර්ති මාමත් කැටුව නාගොඩ ප්‍රදේශයේ ගරාජයකට රැගෙන ගොස් ඕල්ටර්නෙටරය නමැති අටමගලය ගලවා වෙන එකක් අළුතෙන් දැමුවෙන් ප්‍රශ්නය විසඳින. නමුත් එදින පළවෙනිදා හේතුවෙන් බාස් කාරයා වැඩිපුර ගානක් අය කලේ අද වැඩකරන්නේ වරුවයි මහත්තයෝ. නොකර බැරි කමට කරා. නැත්නම් අතවත් තියන්නේ නැහැ අද දවල් 12න් පස්සේ වැඩ වලට. කොහොමින් කොහොම හරි වාහනේ ගරාජයෙන් එලියට ගනිද්දී හවස 3නත් පහුවෙලා. මමයි, හැරායි, චමින්ද මාමයි හිටියේ තවම ඊයේ ඇඳගත්තු ඇඳුම් පිටිං. මමයි චමියයි දෙන්නා මුහුදේ ලුනු වතුර නාපු ගමන්. නිවසට පැමිණ කෑම කා නැවත කොළඹ එන්න පිටත් වීමට පෙර බනියාගේ ආච්චි අම්මා පැවසුවේ පුතේ මේ අවුරුද්ද හරිම පරිස්සමෙන්...... ඔයාලට අවුරුදු ලැබුවේ මහා හොඳම නැති විදියට. මේ වාහනේ නිසා ඔයාලට ගොඩක් කරදර වියපැහැදම් වෙන්න තියෙනවා. ඒ වගේම දුවගේ ගැනත් කල්පනාවෙන් ඉන්න එයාට සෞඛ්‍ය පැත්තෙන් බොහොම දුර්වල වෙන්න ඉඩ තියෙනවා. 

එන ගමන් ආච්චිගේ හණමිටි අදහස් යැයි ඔච්චම් කරමින් ආවත් ඊට සති දෙකකට පසු කතරගම යන විට හරකෙක් හැපී වාහනේ මූණම කුඩු වූ අතර තෙවන සතියේ ස්විෆ්ට් කාර් එකක් වැදීමෙන් වම් පස දොරද ඇතුළුව කොටසට හානි සිදුවූ අතර අතේ ලයිසම නැති බැවින් ඉන්ෂුවරන්ස් ගැනීමට නොහැකිවූයේය. (කොටින්ම කියනවනම් ඒ අවුදුද්ද ඇතුලත කිසිම විදියකින් වාහනේ ගරාජ් එකෙන් එලියට ගන්න බැරි වුනා) එමෙන්ම එම අවුරුද්ද ඇතුලත බනියාට ඇයගේ කකුලේ අමාරුව දැඩිව දැනුනු සහ  සෞඛ්‍යමය අතින් දැඩි ලෙස පීඩා විඳි වසරක් විය. ඒ විතරක්ද? කෝරළේ ගොයියට වැලිකඩ දවස් දෙකේ සංචාරය සඳහා අවස්තාව ලැබුනෙත් ඊට සතියකට විතර පස්සේ තමයි. ඔය  ජවුසන් සියල්ල නිම කිරීමෙන් පසු මා නැවත ඩුබායි පැමිණි අතර. කොම්පැනියේ නවාතැනේ සිටි බැවින් වාහනේක අවශ්‍ය තාවයක් නැති බැවිනුත් අලුත් කාර් එක විකුණා පරණ වාහන කටුවක් ලාබෙට ගෙන (ලෝභ කමට) අනිවාර්යයෙන්ම මාසෙට සැරයක් නැත්නම් දෙකක් ගරාජ් වන්දනාවේ යාමට සිදුවිය. කෙතරම් විකිණීමට තැත් කලද කිසිවෙකු හට එය විකිනීමටද එම වසර අවසන් වන තෙක් නොහැකි විය. හණමිටි අදහස් තදින් ඇදහුවේ නැති වුනත් මේ වෙච්ච සිද්දි වලින් පසුව දෙසැම්බර් 31 සහ ජනවාරි පළවෙනිදා ඉතා කල්පනා කාරීව ගෙදරට වී ගත කිරීමට මම පුරුදු වෙලා තියෙනවා. කොච්චර හිතුවත් ඔය බහුභූත කතා ඔව්ව මිත්‍යා මත කියල...... මගේම යටිහිතින් මාව පස්සට අදිනවා වගේ තේරෙනවා. ඔය මති මතාන්තර වල ඇත්ත නැත්ත කොහොම වුනත් කෝරළේ මහත්තයා පලවෙනිද නම් කරන්න කැමති ලොකුම දේ තමයි හොඳට කාල බීල නිදාගන්න එක. හික් හික් හික් 

ස්තූතිය මෙම කතාව ලිවීමට ගෝ එක දුන්නු අපේ හෙන්රි අයියට

ප.ලි. කියනන් අමතක වුනානේ මේ පහුගිය පළවෙනිදා ඉඳල මමත් අමද්‍යප ව්‍යාපාරයේ ස්වයන් පාලනයක් කරගෙන යනවා.

පින්තූරවල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුයි.

ඔන්න දැන් අපේ කාන්තා පාර්ශවය පිරිමි බොන එකට බනින්න එපා මෙහෙමයි ගෑනු උදවිය බොන්නේ.




Sunday, 23 March 2014

ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-1 වන කොටස

අද නම් මේ පොස්ට් එක ලියන්නේ ලියන්න හිටි දෙයක් නෙවෙයි නමුත් අපේ ඩුඩ් අයියටත් මට වගේම අකරතැබ්බයක් වෙච්ච නිසා ඒ ලියල තිබුණු ලිපියේ ඩුඩ් අයියා කියල තිබුනා ඕන්න ඔහේ උඹේ අත්දැකීමත් ලියල දාපන් කියලා. ඒ නිසයි මේ පොස්ට් එක ලියන්න හිතුනේ. මේ සිද්දිය වුනේ එකදාස් නවසිය බර ගණන්වල නම් නෙවෙයි මේ 2012 මම ඔය වැලිකඩ නිවාඩුවට යන්න ඉස්සෙල්ල. මට ඉස්සර ඉඳලම තියෙනවා මහා බරපතල සුව කරන්නට අමාරු රෝග දෙකක්. මම මේ ප්‍රථම වතාවට තමයි පොරසිද්දියේ මේ වගේ ඒ ලෙඩ දෙකක්ම තියෙනවා කියල පිළිගන්නේ. කාටවත් කියනවා එහෙම නෙවෙයි ඕන්...... පලවෙනි ලෙඩේ තමයි ලංකාවේ ඉන්න කාලේ ට්‍රිප් යන්න කොහේ හෝ ඇවිදින්න තියෙන ආසාව. දෙවැනි එක තමයි රථ ගාය. ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නැහැනේ ඉතින් මේ ලෙඩ දෙක හින්දා වැටුණු අමාරුවක් තමයි මම මේ කියන්න යන්නේ දැන් ඉතින් අපේ ඩුඩ් අයියට වගේ නම් මතක් වෙන්නේ වාහනේක නෙවෙයි අල්මාරියකවත් යතුරක් කතාව.... හික් හික් හික් 

කොහොමින් කොහොම හරි තමුන්ටම කියල බර කරත්තයක් වත් නැති කම ලංකාවට ආවම මට සෑහෙන්න ප්‍රශ්නයක් වුනා. මොකද හතර වටේම ඉන්න පවුලේ උදවියගේ අනුග්‍රහය බලාපොරොත්තුවෙන් ඉන්න එක මට හරිම වදයක් වුනා. ඒ වගේම එහෙම වාහනයක් අරන් ගියාම ඒක අනවශ්‍ය බලපෑමක් වෙනවා හිතට. ඕකට පිලියමක් විදියට පරණ කාර් කටුවක් ගන්න ඕනේ කියා කියා හිතන් ඉන්න අතරේදී තමයි අපේ හාමිනේ පොඩ්ඩ, වෑන් එකක් ගන්න අදහස ඔලුවට දැම්මේ. මොකද වෑන් එකක ඉඩකඩ එහෙමත් තියෙනවා අනෙක වැඩි දෙනෙකුට යන්න පුළුවන් ඉතින් මේකට හරියන්න මමත් ගත්ත කියමුකෝ වැනට් එකක්. පරණයි තමයි. පරණ උනාට තමුන්ගේ තරමට එපැයි වැඩ කොරන්නත්. මේක ගන්න ඔක්කොම සැට් වෙලා තියෙද්දී අපේ හැරා ගොයියා මට කිව්වේ මල්ලි මේකේ ඕල්ටර්නේටර් එකේ අවුලක් තියෙනවා පොඩ්ඩක් මිනිහට කියන්න ඒක හදවල දෙන්න කියල මිරිස් බදිනවා වගේ ගඳක් එනවා කියලා. 

කකුල් කෙටි දෙක ටිකක් දික්වෙච්ච දවස් වල ඉඳලා සුක්කානම් කැරකුවට මොකෝ පැහැදිලිවම මගේ කාර්මික දැනුම නම් අන්තිමයි.කොටින්ම අදටත් වාහනේක ටයර් එකක්වත් මාරු කරගැනීමේ හැකියාවක් නැහැයි කියන්නේ හතර විලි ලැජ්ජාවෙන්. කොහොම හරි වාහනේ අරන් එන දවසත් ආවයි කියමුකෝ වාහනේ අරන් එන්න යන්න හැරා ගොයියට නිවාඩු තිබුනේ නැති නිසා මම හාමිනේත් එක්ක ගොහින් වාහනෙත් අරන් ආවයි කියමුකෝ. එන්න කලින් මම පෙර අයිතිකරුගෙන් ඇහුවා "අයියේ මේකේ අර ඕල්ටර්නේටර් එකේ අවුල හැදුවද" කියලා මිනිහා ගත් කටටම හෙන මැකෑනික් ටෝක් එකක් දාල කිව්වා "හරි මල්ලි එව්වා මෙව්වා අරවා ඔක්කොම හදල තියෙන්නේ දැන් ඔයාට තියෙන්නේ දුවන එක විතරයි" කියලා. කොහොම හරි අපේ සනිස්ගෘතියේ හැටියට වාහනයක් ගත්තාම යන්න ඕනේ දේවාලකට හරි පන්සලකට හරි නමුත් ඊට පහුවදා බනියගේ පුංචි ආච්චි මැරිලා වැඩකොරන (අවසන් කටයුතු) දවස. මලගේ තිබුනේ කොලොන්නාවේ. මුල් දවසේ ඉඳලා විදේශාධාර ඔක්කොම හුවමාරු වුනේ මම හරහා තමයි මළගෙදර මූල්‍ය වගකීම් පැත්ත පැටවිල තිබුනේ මගේ පිට නිසා හවස අනිවාර්යයෙන්ම මළගෙදර යන්න සිදුවුනා. 

හැබැයි මේ සිද්දිය සම්බන්ධව කිහිප දෙනෙක් නොයෙක් අදහස් ප්‍රකාස කොලත් මේ කෝරළේ ගොයියා නෙවෙයි ඔය මිත්‍යා මත ගණන් ගත්තේ. මරණේ වැඩ ඉවර කොරලත් සතියක් යනකල් ඉඩකඩක් ලැබුනේ නැහැ දේවාලෙකට යන්න. ඉතින් ඔය අතරේ තමයි දෙසැම්බර් 30 උදාවුනේ. දන්නවනේ කෝරළේ මහත්තයා කියන්නේ සමරන්න අවස්තාවක් එනකල් බලන් ඉන්න ඩයල් එකක් කියලා ඒ දවස් වල (බෝතලයක් කඩන්න). ඉතින් හාමිනේටත් බටර් පාර ගාලා පුංචි ආච්චිගේ පුතා වන චමින්ද මාමවයි, හැරායි, තව බනියගේ මල්ලිලා දෙන්නෙකුත් එක්ක යන්න පිටත් වුනා අම්බලන්ගොඩ බීච්. 30 රෑ කළුතර බනියගේ ආච්චිලාගේ ගෙදර ඉඳලා යන්න තමයි කතාවුනේ 31 පාන්දරම. පාන්දර යන තරමට වැඩිපුර බොන්නත් ඇහැකි නොවෑ. කොහොම හරි බණ්ඩාරගම පාරේ වාහනේ අරන් ඇවිත් කළුතරට කිට්ටු වෙද්දීම අපේ එවුන්ට හැදුනා සුදහ ගින්න කොත්තු කඩ දකිද්දී. මුන්ගේ කරදර කාරී ඉල්ලීම් වලින් බේරෙන්න බැරි තැන මමත් මුස්ලිම් කඩයක් අල්ලලා නැවැත්තුවා. චමින්ද මාමා බැහැලා ගිහින් රෝල්ස් වගයක් අරන් ඇවිත් හැමෝටම දුන්නා මට පලවෙනි කට කද්දීම තේරුනා පොඩි අමුතු රහක්. මම බැහැලා ගිහින් කඩෙන් ඇහුවා මේ මොන රෝල්ස් ද කියලා කඩකාරයා මගේ දිහා කින්ඩියට වගේ බලල කිව්වා ඔය හරක් මස් රෝල්ස් කියලා.

ප්‍රතිපත්තියක් විදියට හරක් මස් නොකන මට මේ සිද්දවෙච්චි දේ සෑහෙන්න අවුල් වුනා. මොකද කඩකාරයට බැනලත් වැඩක් නැහැනේ අපේ ගොසලෑවා හොයන්නෙ බලන්නෙ නැතිව අරන් ආවට. එතැනින්ම කටත් හෝදගෙන කෝපි එහෙකුත් බීලා වාහනේට නැගලා ස්ටාර්ට් කරන්න හදනවා වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මට බැරිම තැන හැරාට රියදුරු අසුන දීල බැස්සා වැඩේ හරියන්නේ නැහැ. දැන් කළුවර වැටිලා නිසා හෙට උදේම ප්‍රශ්නය මොකක්ද කියල බලන්න තීරණය කරපු පයිලට් හැරා තල්ලු ස්ටාර්ට් එකෙන් වාහනය ආච්චිලාගේ ගෙදරට අරන් ආවා. එදා රෑත් සුදු කැටේකින් (White Diamond) සප්පායම් වෙච්චි අපි තුන්දෙනා නිදාගනිද්දි පාන්දර 3 ත් පහු. 

පහුවෙනිදා උදේ මම නැගිටින කොටත් හැරයි චමින්ද මාමයි දමාගෙන මොනවදෝ කොරනවා වාහනේබොනට් එක උස්සාගෙන. කට්ටිය ලැහැස්ති වෙලා ඉවර වෙලා ඉවරවෙද්දි ආච්චි අම්ම කියාපි පුතේ ඔයා එළවන්න එපා හැරල්ඩ්ට දෙන්න අරං යන්න. ඔයාට ඊයේ සිද්දවෙච්ච දේ අනතුරු ඇඟවීමක් වගේ දෙයක් කියලා. ඒ වෙද්දීත් හරියට වෙරි බැහැල නැතිව හිටි මම බැලුවා එකපාරටම මේ කඩන් වැටුන මරාලේ මොකක්ද කියලා. පස්සේ තමයි මට හරක් මස් රෝල්ස් එක මතක් වුනේ. අනෙක් හැමෝටම මාළු රෝල්ස් ඇවිත් මටම හරක් මස් එක හම්බවුන එකත් මම දේවාලේ නොගිහිං මළගෙදර ගිය සිදුවීමත්, හැරාට තල්ලු ස්ටාර්ට් මගින් වාහනේ පනගන්වාගන්න හැකිවීමත් මට නොහැකිවීමත් (මම තල්ලු ස්ටාර්ට් උත්සහ කොලේ නම් නැහැ) එකට ඈඳල ආච්චි අම්මා වෙනම රචනාවක් තිරගත කරනවා. වස්ලු අරකලු මේකලු. යකෝ මේක හරි මගුලක් මම ගත්ත වාහනේ මට පදින්න බැහැ. වස්........... වස් නෙවෙයි What The F***....... මාව පැත්තකට අඬගහගත්තු හැරා ඕක හරි මල්ලි....  එයාලගේ හිත හැදෙන්නත් එක්කල මෙතනින් මම එලියට අරන් පාරට ගිහින් මම ඔයාට දෙන්නම් දැන් වාදෙට යන්න එපා එයාලගේ මතවාද අපිට වෙනස් කරන්න බැරි තරම් එයාල වයසයි. යනුවෙන් මට කරුණු වටහා දුන්නු හැරා. ගේම ගොඩින් බේරාගත්තා. 

අම්බලන්ගොඩට10.30 විතර අපි යද්දී ලොකු මාමගේ පොඩි දෙන්නයි අපේ සෙලෙස්තිනා නොහොත් මගේ පොඩි නෑනාත් Ready පිට හිටියේ නාන්න යන්න. උන්දලවත් වාහනේට නග්ගවාගෙන අම්බලන්ගොඩ රට බීම හලෙන් නැවැත්තුවේ සුදු කැට දෙකක් ගන්නයි. ඒ නැවැත්තුව ටිකටත් පොඩි එවුන් කලබල කරන්න ගත්තේ ඒ පරක්කු වෙන විනාඩි පහට මුහුද පිට රට යයි කියල බයේ වගේ. යකෝ....... මේ සෙට් එක  මේ අම්බලන්ගොඩම දවස් 365 හේම ඉඳලත් හරියට හත් අවුද්දකින් නාලා නැහැ වගෙයි නාන්න තදියම. අපි මේ මෙච්චර දුර ඉඳලා මේ ආවේ මොන තරම් දැවැන්ත සැදැහැවත් වැඩක් කොරන්නද?????? මුන් මේ නාන්න හදනවා. බෝතල් ටිකත් අරන් එතන ඉන්න කඩල කාරයාගෙන් බයිට් ගණන් ගියාම තමයි මම ජීවිතේ පලවෙනි වතාවට කෑව හොඳම බයිට් එක වෙච්ච පොතුපිටින් තෙලේ බැදලා අරං ලුණු කුඩු ,මිරිස් කුඩු ඉහපු සුදුලූනු දැක්කේ චමින්ද මාමගේ ඉල්ලීම පරිදි එයිනුත් කිහිපයක් ගත්තේ වෙනසකට එක්ක. (හැබැයි අපිට නම් කන්න හම්බ වුනේ නැහැ නොබොන එවුන් කාලා ඉවර කළා)   



                           මේ තියෙන්නේ තැන. පින්තූරය ඉස්සුවේ ගූගල් දෙවි පිහිටින්
 
බීච් කිව්වොත් මම කවදත් හරිම කැමති තැනක් තමයි අම්බලන්ගොඩ පරණ පාරේ පරණ තානායම (දැන් තියෙන්නේ මෙයා නටබූන්ස් විතරයි ඒකයි පරණ කියල කිව්වේ. you know වට් අයි මීන්) පිටිපස්සේ කන්ද බැහැලා ගියාම තමයි මේ සුන්දර ස්ථානය තියෙන්නේ.ගල් දෙකකින් වටවෙලා පොකුණක් වගේ වැඩි ගැඹුරක් නැතිව හැදුන. මෙම ස්ථානයට  ඒ පළාතේ උදවියනම් කියන්නේ මුහුදු පොකුණ කියලා, අපිත් ඒ නමම කියමුකෝ...  වාහනේ තානායම් වත්තේ නවත්වල නාන එවුන් නාන්නත් බොන එවුන් බොන්නත් සැටමෝල් වුනා. අර කලින් කිව්වා සුදු ළූණු බයිට් එකෙන් අපි බිග් තුනක් කන අතරේ ඉතිරි ගෙඩි සියල්ල වාෂ්ප වුනේ පොඩි එවුන්ගේ පොඩි කමට කියමුකෝ හැක් හැක් හැක්.... හවස් වෙනකල්ම බිබී ඉන්න අතර වාරයේ මගේ මීටරේ අවුට් යන්න පටන්ගෙන තිබුනේ. හරියට වැහි කුනාටු සහිත දිනයක් සාමාන්‍ය ඇන්ටනාවකින් රූපවාහිනිය බලනකොට වගේ තමයි ඉඳල හිටලා පියවි සිහියට එනවා ආයේ අවුට්. ලොකු මාමා මේ එක විගඩමකටවත් සහභාගී නොවී හිටියේ එතන වැඩිහිටියෙක්ගේ (කෙලින් කටින් ඉන්න ) වගකීම මොනවට ගෙනහැර පාමින්. 

ඔය අස්සේ තමයි ලොකු මාමගේ පොඩි පුතා මහා හයියෙන් බෙරිහන් දෙන සද්දේ ඇහුනේ. ගෙහුං බැලින්නම් මේකා ගල් උඩ නගින්න ගොහින් ඇනගෙන ඉකිරි කටුවක්. වටවුණු උදවිය එක එක කතා කියනවා. අපොයි දෙයියනේ මේවා ඇනුනම පිළිකා හැදෙනවලු මේ ළමයට අරක කරන්න මේක කරන්න යනාදී වශයෙන් නොයෙක් අදහස් ඉදිරිපත් කොරනවා. එතන හිටපු සීයා ටයිප් වයසක මනුස්සයෙක් තමයි කිව්වේ කකුලට මූත්‍රා කරන ලෙස. එය කෙම් ක්‍රමයක් බවත් එයින් විස පැතිරීම වලක්වෙන බවත් තමයි ඒ සීයා සඳහන් කොලේ. හප්පේ පොඩි එකාගේ කකුලට චූ කරන්න එතන හිටපු හැමෝම ඉදිරිපත් වුනේ හදවත උනුවෙලා (හදවත තිබුණු තැනයි ප්‍රශ්නෙකට එන්නේ) :) කොහොම හරි පොඩි එකාව දොස්තර කෙනෙක් ලඟට අරන් ගියේ අපේ හාමිනෙයි සෙලයි, මාමයි, හැරායි එකතුවෙලා මස්සිනාලා දෙන්නයි චමින්ද මාමයි එක්ක මම බීච් එකේ හිටියා. ඒ ඉන්න ගමන් ඉතිරි කොටෙත් දෙන්නත් එක්ක අහවර කරා නමුත් ඒ වෙද්දී ලිමිට් පැනලා කියන එක මටවත් චමින්ද මාමටවත් තේරුනේ නැත්තේ වයිට් ඩයමන්ඩ් කියන්නේ තැපෑලේ වදින බීමක් හින්දා වෙන්න ඕනේ. 


හිතුවට වැඩිය පොස්ට් එක දිගවැඩි නිසා කොටස් දෙකකට කඩන්න තීරණය කොලා. බිහිසුණු සටන් ජවනිකා, සංවේදී දර්ශන, ඩෝප් සීන්,  පොලිස්කාරයින්ගේ මාළු උන්ගේ ඇඟේම තියා කැපීම. රෑ 12 කොහෙද හිටියේ මොනවද කරේ? ඇඟේ මයිල් ඉස්මයිල් වන ත්‍රාත්සජනක අත්දැකීම   දෙවැනි කොටසින් බලාපොරොත්තුවන්න. මාතෘකාව නම් ගෙඩිපිටින් හෙන්රි අයියගෙන් ඉස්සුවේ. (නොකියා) 

                               මේ ඉන්නේ කෝරළේ මහත්තයා ඒ....... කාලේ එකදාස්අටසිය බර ගනන් වල

                  මේ ගල උඩ ලැග්ග රිලව් දෙන්න වගේ ඉන්නේ හැරා සහ චමියා යන මහතුන් දෙපලයි

                               මෙන්න නාන විදිය. ස්විමිං පූල් එකක් වගේ.
                        
දෙවැනි කොටසට යන්න මෙතනින්



Wednesday, 26 February 2014

ෆේස්බුක් තහනමේ අතුරු ඵලය 18+ සයිට් ද? සහ ව්‍යග්‍රා

ඔන්න මේ අවුරුද්දෙත් මෝඩයාගේ දිනය වෙනුවෙන් වැඩක් කරන්න අපේ සියඹලාන්ඩුවේ ඇත්තෝ ලැහැස්ති වෙනවලු. මේ දින වල නොකඩවා සිදුවීගෙන යන ෆේස්බුක් මරණ පෙළ හේතුවෙන් ගන්නට හැකි එකම විසඳුම ෆේස්බුක් තහනම් කිරීම ලෙස අපේ නැණවත් විෂය භාර අමාත්‍ය තුමා තීරණය කරලා තියෙනවා. හික් හික් හික්.... ඒ විතරක් නොවෙයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන අන්දමට සාරි සල්වාර් වැනි අනතුරු දායක රෙදිපිළිද මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමටත් දැනට පාවිච්චියේ පවතින එවැනි අනතුරු දායක රෙදි පිලි රාජ සන්තක කිරීමට හෝ එය රජයේ ලියාපදිංචි කොට ලයිසමක් (ඔය ගිනි අවි වලට දෙන බලපත්‍රය වගේ) ලබාදීම පිලිබඳ දැනට සාකච්චා පවත්වන වග කෝරළේ මහත්තයට දැනගන්නට ලැබුනා හීනෙන්. අම්මපා හැමෝම බැලුවොත් කතා කොරන්නේ විශ්ව ගම්මානේ දොරටු විවර කිරීම ගැන. නමුත් මෙවැනි සියදිවි නසාගැනීම් රටේ අනාගත පරපුර විනාශ වී යාමට කිසිසේත්ම ඉඩ දිය නොහැකියි ඒ නිසා බුකිය නමැති ඒ භයානක වෙබ් අඩවිය තහනම් කලයුතුවේ එය රටේ අනාගතය වෙනුවෙන් ගන්නා මොලේ නැති  ඇති  තීරණයකි.



"නමුත් අද කාලේ හැදෙන ළමයි හරි ඇඩ්වාන්ස්" මේ කියමන අපි අනන්ත අහල ඇති. ඉතින් මේ ඇඩ්වාන්ස් ළමයින් දන්නේ නැහැ අවහිරකරපු අඩවි වලට පිවිසෙන්න ප්‍රොක්සි VPN භාවිතා කළහැකි බව. දැන් කියන්න පුළුවන් කීයෙන් කීදෙනාද ඔව්වා භාවිතා කොරෙන්නේ කියල නමුත් මා විශ්වාස කරන පරිදි මෙසේ ෆේස්බුක් අවහිර කිරීම තුලින් ළමුන් ප්‍රොක්සි වැනි දෑට හුරුවීම තුල තිබෙන්නාවූ නරක පැත්ත තමයි ළමුන් මෙමගින් කාමුක අඩවි (porn sites) වැනි දෑට ඇබ්බැහිවීම තුලින් මේ වෙලා තියෙනවාට වඩා වින්නැහියක් වීමට ඉඩතියෙනවා. 


ඔය වල් සයිට් ගැන කතා කරද්දී තමයි මට මතකෙට ආවේ අපේ ප්‍රසාව (නමෙන් කොටසයි) ප්‍රසා කියන්නේ අපේ සමාගමේ පරිගණක ක්‍රියාකරුවෙකු ලෙස වැඩට ආ පොඩි කොල්ලෙක් කොහොමින් කොහොම හරි මෑන්ව සෙට් වුනේ අපේ කාමරේට. වයසට වඩා මෝරපු මරුමුස් පෙනුමක් දිස්වුනත් මනසින් තවම පොඩි එකෙක් වගේ වුන ප්‍රසා මලයා අපි හැමෝගෙම හොඳ හිත දිනාගන්නට සමත් වුනා. පලවෙනි වතාවට  පිට රටකට ඇවිත් තමන්ගේ ගෙදරින් වෙන්වෙලා තියෙන්නේ. ප්‍රසාගේ මෑණියන් කියපු පරිදි රැයක් ගෙයින් පිට ගතකරපු කොල්ලෙක් නෙවෙයිලු. අපි සැට් එක ඔය මදුවිත පාටි වාටි වලට සැටමෝල් වුනත් ප්‍රසා නෙවෙයි මෙව්වට සම්බන්ධ වුනේ. දැඩිව අමධ්‍යප ව්‍යාපාරය අනුගමනය කල ප්‍රසා අරක්කු සිගරට් දැඩිව පිළිකුල් කළා. කොල්ලෙක් විදියට කියන්න වරදක් නොතිබුනත් කිහිප දවසක් අපේ මංජු අයියට අහුවෙලා තියෙනවා පොර ඔය වැල සයිට් බලනවා. පස්සේ හොයල බැලින්නම් දැඩි ලෙසම ඒ අංශයට ඇබ්බැහිවෙලා තියෙනවා.

මෙහෙ මගේ කලින් ලිපියක සඳහන් කළා බාර්ඩුබායි (Bur Dubai) ,සත්වා (Satwa) යන නගර දෙකම ඔය ගණිකාවන්ට ගොඩක් ප්‍රසිද්ධ තැන් දෙකක් තේරෙන සිංහලෙන් කිව්වොත් ප්‍රසිද්ධ බඩු පොට්. ප්‍රසා මාසෙකට පාරක් දෙකක් මේ දේවාල වන්දනාවේ යන විත්තිය අපේ බුද්ධි අංශ වලට තේරිලා තිබුනේ. හැබැයි මේ තැන් වලට යන්න ගත්තට පස්සේ කොල්ලගේ පැහැදිලි වෙනසක් දකින්න ලැබුනා. වැඩිය කිසිකෙනෙකු සමග වැඩි කතාබහට එන්නේ නැතිව පොර පොරගේ පාඩුවේ කාලය ගත කළා. දවසක් මට මට කතා කරපු ප්‍රසා අහනවා කෝරළේ අයියේ අර මොකක්ද බං අර උඹේ අල්මාරිය උඩ තියෙන පොඩි ඩප්පිය. මම  පහුගිය දවසක  යම්කිසි වැඩක් සඳහා රැගෙන ආ පොඩි ප්ලාස්ටික් ඩප්පිය ගැන තමයි මේකා මේ අහන්නේ කියලා මට තේරුනා. මටත් අමතක වෙලා තිබුන මේ ඩප්පිය මූට මතක තියෙන  හැටි බලන්නකෝ මංජු අයියේ....... උඹට වැඩකට ඇති දෙයක් නෙවෙයි යැයි කියා විහිළුවක් කර එතනින් යාමට හැදුවද ප්‍රසා නැවතත් "අනේ අගේ නොකර කියහන් බං අයියේ මොනවද තියෙන්නේ" කියලා යැයි කී විට මේකාව බයිට් එකට ගැනීමට සිතු මම ඕක පොඩි එවුන්ට අවශ්‍ය දෙයක් නෙවෙයි බං ඕකට කියන්නේ ව්‍යශ්‍රා කියල උඹට ඕක අදාළ වෙන දෙයක් නෙවෙයි යැයි පැවසු විට මොහු ඒ පිළිබඳව හාර හාර තොරතුරු විමසන්නට විය. ඒ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ භාර ධූර කර්තව්‍ය භාරගත් මංජු අයියා ව්‍යශ්‍රා යනු මොනවාද එයින් ජනිතවන ශක්තිය පිළිබඳවත් එය අසවල් කෝෂ දෙකේ ආලේප කරගත යුතු බවත් පැයකට පසුව සෝදා දැමිය යුතු බවත් පැහැදිලි සිංහලෙන් ප්‍රසාට කියාදෙන ලද්දේ ගූගල් තොරතුරුද ගෙනහැර දක්වමිනි (ඇත්තද දන්නේ නැහැ). 

දිනක් මෙම ඩප්පිය මාගේ අල්මාරියෙන් අතුරුදහන්ව ඇති බව නානකාමරයට යාමට පෙර මම දුටිමි. මා ඒ පිළිබඳව විපරම් කරනු ප්‍රසාද දුටු නමුත් කිසිදෙයක් පැවසුවේ නැති ඔහු මා නැවත පැමිණි පසු මට ඩප්පිය දුන්නේ කෝරළේ අයියේ තමුන්ගේ වටිනා කියන බඩු පරිස්සමට තියාගනින් එක්කෝ අල්මාරිය ලොක් කරලා පලයන්. මේ ඩප්පිය බිම වැටිලා තිබුනා මම පරිස්සමට අරන් තිබ්බා මෙන්න තියාගනින් යනුවෙන් මා අතට දී බාත්රූම් එකට ගියාය. එහි පියන විවෘත කර බැලු විට කිසිවෙන් එහි අඩංගු ආලේපය ඇඟිල්ලක් දමා රැගෙන ඇති බවත් එහි ඇති ඇඟිලිපාර සූක්ෂම ලෙස මකා දැමීමට තැත් කර ඇති බවත් දැකගත් හැකි විය. මංජු අයියාද පැමිණියෙන් මම ඔහුටද මේ ගැන පවසා සිනා සුනේ සති දෙකකට අධික කාලයක් මෙය අල්මාරියේ තිබු මුත් බිම වැටි තිබුනේ නැත. අද බිමවැටීම සහ එය ප්‍රසාටම හමුවීම අහම්බයක් ලෙස කෙලෙස සලකම්ද?????  බාත්රුම් එකේ සිට ප්‍රසා පැමිණි පසු මංජු අයියා ඔහුගෙන් මේ පිළිබඳව විමසු විට බොලාට පිස්සුද මම නම් ඔය මගුල් ගත්තේ නැහැ බිම වැටිලා තිබිල මම අරන් තිබ්බා යනුවෙන් පැවසීය. 


මම : ඒ කියන්නේ ප්‍රසා උඹ මේක පාවිච්චි කරේම නැද්ද? 
ප්‍රසා : නැහැ බං අයියේ කී ගමනක් කියන්නද? නැහැ කියන්නේ නැති නිසා 
මංජු අයියා: කෝරළේ මල්ලි ඔන්න ඕක අතහැරලා දාන්න 
මම : නැහැ මංජු අයියේ මම මේ බයවුනේ මු වැරදිලා හරි ගාගෙන නම් ලෝක නස්පැත්තියක් වෙන්නේ 

ප්‍රසා : ඒ මොකෝ 
මම : යකෝ මේ ඩප්පියේ ඇති ව්‍යග්‍රා රෙද්දක් නැහැ මේකේ තියෙන්නේ ............. යැයි පැවසු විට මූණ කොරහක් තරමට කරගත් ප්‍රසා තොපිට හෙන ගහනවා තොපි දෙන්නටම ************* යනුවෙන් අමු තිත්ත කුනුහර්පයෙන් අපිට සංග්‍රහ කොට කාමරයෙන් එලියට ගිය ඔහු නැවත කාමරයට පැමිණියේ අප සියල්ලන්ටම නින්ද ගිය පසුවය. සතියක් පමණ යනකල් මූණ එල්ලගෙන සිටි ප්‍රසා සියල්ල මතක කර දමා නැවත අප හා මිතුරු විය. 


දැන් හැමෝම කල්පනා කොරනවා ඇති නේද මොකක්ද මේ අරුම පුදුම ආලේපය ව්‍යග්‍රා කියලා හික් හික් 



                              
මගේ පරණ ලැපීගේ hinges (සරනේරු) වලට දාන්න මම ගත්තේ මේකේ කිසිම සඳහනක් නැති නිසාත් ඩප්පිය පොඩි සිද්ධාලේප ඩප්පියක් තරම් වූ නිසාත් ප්‍රසාට මේ ගැන වැඩි සැකයක් ඇතිවුනේ නැහැ. කොහොම නමුත් මේ සිද්දිය එකමඩේෂන් එක පුරා ලැව්ගින්නක් වගේ පැතිර ගියා. කොහොම හරි ඊට අවුරුද්දකට පමණ පසු ප්‍රසා කොම්පැනියෙන් අස්වෙලා යනකන්ම ප්‍රසා කියලා නම් ඔහුට කවුරුත් කිව්වේ නැහැ හැමෝම කිව්වේ ග්‍රීස් අස්ථියා (හරි වචනේ මේක නෙවෙයි) කියලා.

Tuesday, 31 December 2013

හංගන් තියන්න ඕනේ ජං* ප්‍රදර්ශනයේ දැමු බෝඩිම් කෙල්ලෝ

මේ කතාව මට හදිස්සියේම මතකෙට ආවේ ජෝන් අයියගේ අක්කලව කිච කිරීමේ කතාව කියෙව්වට පස්සේ මේ සිද්දිය වෙලාඅ මේ වෙන කොට අවුරුදු බරගානක් වෙනවා. ඒ නිසා මෙය පලකරාට කමක් නැහැයි කියලා මට හිතුන නිසයි මෙය අකුරු කරන්නට අදහස් කලේ. කතාව කියන්න කලින්ම මට මෙහි සිදුවීම ගැන පොඩි ගැටළුවක් තියෙනවා. මොකද ඒ සිද්ධ වෙච්චි දේ සාධාරණද නැද්ද කියන එක පිළිබඳව. අද වෙනකල් මේ සිදුවීම ගැන දෙගිඩියාවෙන් සිටියත් අද ඒ පිළිබඳව තීරණය කිරීම ඔබට භාරයි.



අපේ පරණ ගෙදර තිබුනේ කිරුළපන සිද්ධාර්ථ පාරේ. අප රටින් පිටව සිටිනා බැවින් නිවසේ ආරක්ෂාව සලකා මගේ පියතුමා විසින් එය රැක බලාගෙන වාසය කිරීම සඳහා අපේ නැන්දා කෙනෙකුට (ටිකක් දුරින්) භාර දුන්නා. කිරුළපන පිහිටි ඔවුන්ගේ හෝටලයේ (කෑම කඩයේ) වැඩ වලටත් එය පහසුවක් වුනු බැවින්. කට්ටියට මතක ඇතිනේ මගේ අතිජාත ඥාති සහෝදරයා හුලං ගැරඬියාව. ඒ කිව්වේ අපේ දමියව ඉතිං මේ දවස් වල මේකාත් රිංගගෙන හිටියේ මේ ගෙදර තමයි. මොකද බුවාට ඉස්කෝලේ යන්න ලේසි නිසා. පස්සේ කාලෙක බුවාව ආපහු ගෙන්න ගත්තේ බීමට ඇබ්බැහිවීම නිසයි. කොහොමින් කොහොම හරි මමත් නිවාඩු ගිය දවසේ පටන් මෙහෙ තමයි කල් ගෙව්වේ. මොකද දමියා ඉන්න නිසා මටත් කිසිම පාළුවක් තිබුනේ නැහැනේ. උඩ තට්ටුවේ කාමර දෙකක් අපි දෙන්නට දීලයි තිබුනේ අපිට අපේ නිදහසේ ඉන්න. උඩ තට්ටුවට යන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් ගේ ඇතුලින් අනෙක පිටින් අපි ඉන්න දවස් වල මේ ඇතුලෙන් තියෙන මාර්ගය අපි දොර වහලා ලොක් කරලයි තිබුනේ. මොකද අපි දෙන්න හවස බොන කොට හදිසි කඩා පැනීම් ඇතිවීමට ඇති අවස්ථා අවහිර කිරීමට. 

මේ ගෙදරට අල්ලපු ගෙදර විවිධ රැකියාවල් කරන ගැහැණු ළමුන්ට නවාතැන් දෙන බෝඩිමක් හැටියට පවත්වා ගෙන යනවා (අදටත්). අද කාලේ හැටියට ඉතිං අමතර ආදායමක් නැතිව ජීවත් වෙන්නත් බැහැ නොවැ. අපේ හවස් කාලය ගත වුනේ බැල්කනියේ තමයි ඒ මොකටද කියල අහන්න එපා ඕනේ විදියකට හිතාගන්න එකයි ඇත්තේ.......

ඔන්න ඉතිං වල් විදියටමනේ හිතන්නේ. ඇත්තම කාරනාව නම් එළියේ තියෙන බට පඳුරෙන් එන සුළඟ අපේ බියර් බෝතලේ සූර් ඩබල් කරන්නට අපිට උදව් කල නිසයි බොලව් අපි එළියේ බොන්නේ. අපි මේ සාන්ත දාන්ත බෝ පැල වගේ කොල්ලෝ දෙන්නෙක්. අනෙක අපේ ලයින් පාරකට සෙට් වෙන වයසේ කෙල්ලෙක් ඒ බෝඩිමේ හිටියේ නැහැ කියලත් කණගාටුවෙන් වුනත් කියන්න සිද්ධ වෙනවා. නැත්නම් ඉතිං අපි බැල්කනියෙන් හෙලවෙන එකක් නැහැ. 

මොවුන් රෙදි වැල් බැඳලා තිබුනේ අපේ තාප්පෙටත් උඩින් මේ රෙදි වැල් වල කවදාවත් රෙදිනැතිව නම් දකින්නට ලැබිල නැහැ. මෙහෙම ඉන්නකොට අපේ මාමගේ දානෙත් සෙට් වුනා ඉතිං පිරිතක් කියවලාම දානේ දෙන්න තමයි කෂ්ටිය අදහස් කලේ. පිරිත්දා හාමුදුරුවරු වඩම්මපු වාහන ලේසියට ඔවුන්ගේ වත්තට දාල හැරවීම සම්බන්දයෙන් මේ ගෙදර අයිති කාර කාන්තාව නැන්දාට දෝස් මුරයක් දාල තියෙනවා. ඇය පෙන්තකොස්ත ආගම අන්තවාදීවිදියට අදහන්නියක්. අය කොහොමත් හාමුදුරුවරු හෝ බුදු දහම ගැන එතරම් ප්‍රසාදයක් දක්වපු කතක් නෙවෙයි. මේ බහින් බස් වීම කොහොම හරි සෑහෙන්න දුරදිග ගියා මොකද අපේ නැන්දා බොහොම බුදු දහමට ලැදි කාන්තාවක් කොතරම් පාඩු වුනත් අනිවාර්‍යයෙන්ම පෝය දවසට කඩේ වහලා පන්සලට සිල් සමාදම් වෙන්න යන. එදායින් මේ සිදුවීම අපි  අමතක කර දමා අපි අපේ රාජකාරි වල නියලුනත් මොවුන්ගේ රෙදි වැනීමේ වෙනසක් සෑම දෙනා හටම දැකගන්නට ලැබුනා ඒ ඔවුන්ගේ සෝදපු යට ඇඳුම් (කාන්තා) 


වලේ අපේ නිවස පැත්තට වෙන්න වැනීමයි. මෙය ඉතා ජුගුප්සාජනක දර්ශනයක් වුනා අපේ නැන්දනියට. සතියක් පමණ ඉවසා මේ පිළිබඳව එහි නේවාසික යුවතියන් කිහිප දෙනෙක්ටම පැවසු මුත් කිසිඳු යහපත් ප්‍රතිචාරයක් නම් ඔවුන්ගෙන් ලැබුනේ නැහැ.


දිනක් නැන්දාගේ ඔය සමිති සමාගමක මිතුරියන් පිරිසක් පැමිණි දිනක මෙය දැක, ඔවුන් ඇයගෙන් මේ පිළිබඳව විමසා අප්‍රසාදය පල කරලා තියෙනවා. එදින ක්‍රීඩා කොට අප නිවසට පැමිණෙන විට ඇය සිටියේ කෝපයෙන් පුපුරු ගසමින්. නා පිරිසිඳු වී අප පැමිණි පසු ඇය අපට පැවසුවේ කොල්ලනේ මේක බලන් ඉඳල හරියන්නෙ නැහැ මොකක් හරි කරන්න වෙනවා. මම හෙට උදේ යනවා පොලිසියට මේ ගැන ඇන්ට්‍රි එකක් දාන්න. මුන්ට ලැජ්ජාවක් නැත්නම් අපිවත් ඒක උන්ට උගන්න ඕනේ මුන්ගේ ගෙදර වුනාට මේක අපිත් එක්ක තරහටම කරන වැඩක්. නැත්නම් මීට කලිනුත් වන්න එපැයි යැයි පවසද්දී


  සැමදා මැද්දෙන් පැනීමට පුරුදු වී සිටි දමියා පොඩ්ඩක් ඉන්න නැන්දේ මම මොනවා හරි ඕකට කරන්නම්. ඔය වගේ දෙකට පොලීසි ගිහින් වැඩක් නැහැ අපිටමයි ලැජ්ජාව. මේකට ක්‍රමයක් අපිම හොයමු යැයි පැවසීය. මට නම් සිතුනේ මේ දමියා ඉල්ලන් කෑමට යාමක් ලෙසටයි. පැයකට පමණ පසුව පරණ බඩු දමා ඇති කාමරයට ගිය දමියා එලියට පැමිණියේ ස්ප්‍රේ ගන් එකක්ද අත ඇතිවයි. කුස්සියට ගොස් වතුරට යම් දෙයක් දමා එයින් ස්ප්‍රේ ගන් එකට වතුර පුරවා ගෙන මාත් සමග බැල්කනියට ගිය දමියා වැලේ ඇති ඇඳුම් දෙසට එය විදින්නට විය. ලීටර් බාගයක් පමණ වූ එම බෝතලයේ වතුර හිස් වන තෙක්ම විද්ද පසු වරෙන් මල්ලි දැන් නිදාගන්න යමු යැයි පැවසීය. 

 පසු දින උදයේ පාන්දරම නැගිට ගත් දමියා මාවත් ඇදන් බැල්කනියට ගියේ වරෙන් උඹට පොඩි කොමඩි ෆිල්ම් එකක් පෙන්වන්න යැයි පවසමිනි. අපේ අසල් වැසියන්ගේ ගෙදර යම් කිසි කලබල ගතියක් පෙනෙන්නට තිබිණ කෑ ගැසීම් ආදියත් වරින් වර අසන්නට ලැබිණ. සියල්ලන් බාත් රූම් එකට පොරකන අයුරුත් දෙස් තැබීම් සහ ශාප කිරීම් කරන හඬත් අපිට ඇසින. "මලේ උඹ දන්නවාද මම මොනවද ඊයේ ස්ප්‍රේ කලේ කියලා" යැයි මගෙන් ඇසීය. මා නැතැයි කී විට මගේ කනට කොට කී දෙයින් මට සියල්ල වැටහිණි. ඔහු ඊයේ වතුරේ දිය කර ඇත්තේ තද ගම්මිරිස්ය එයත් තද සාන්ද්‍රනයෙන්. අනේ අර කෙල්ලොන්ගේ ..............

 

මේ පිළිබඳව නැන්දාටත් දිවගොස් පැවසු විට ඇයටත් සිනහව නවත්වා ගැනීමට නොහැකි විය. හදිස්සියේ වත් ඔවුන් රණ්ඩුවට ආවොත් මොකද කරන්නේ යැයි ඇසුවේ මා තරමක් බියට පත් වී සිටි බැවිනි. "උඹල බය වෙන්න එපා ඒක මම බලාගන්නම්" යැයි නැන්දා පැවසු බැවින් අපේ බිය තුරන් විය. රණ්ඩුවක් බලාපොරොත්තුවෙන් අප සිටියත් දින කිහිපයක් ගත වුවත් කිසිත් සිදු නොවූ බවත් එදිනම ඒ අලංකාර රෙදි වැල ඔවුන් ඉවත් කරගෙන ඇති බවත් දැකගන්නට ලැබිණි. මේ හේතුවෙන් අපේ හුලං ගැරඬියා (දමියා) පවුලේ වීරයෙකු බවට පත් වින. ඔහු ඒ සිදු වීම කිසිවෙකුට පවසද්දී. තාර බර සමග කොමාන්ඩෝ චිත්‍රපට කතාවක් විලස ගොතා පවසමින් එම සිදුවීම අර කාකු පිහාට්ටේ කතාව කාක්කෝ හත් දෙනෙක් වූවා මෙන් විය. 



කෝරලේ වලව්වට ගොඩවැදුණු ඔබටත් සියලුම ශ්‍රී ලංකා වාසීන්ටත් සියලු යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවෙන, සියලු සිහිණ සැබෑකර ගැනීමට හැකිවෙන  සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!





Saturday, 28 September 2013

ෆේස් බුක් පේජ් වල නිරුවත

අපේ මාක් උන්නැහේ විසින් නිර්මාණය කරන ලද ෆේස් බුක් අඩවිය අද කාලේ තරුණ තරුණියන් අතර පමණක් නොවෙයි වැඩිහිටි පරම්පරාවද වැළඳ ගෙන පැල් බැඳගෙන පාවිච්චි කරන අඩවියක් වෙලා. නමුත් අපිට ගොඩ වෙලාවට අහන්න ලැබෙන්නේ ෆේස් බුක්   ගැන බැනුම් තමයි මොකටද ඔය කාලේකන දේවල් කරන්නේ, ඔයිට වඩා හොඳ නැද්ද පොතක් පතක් පාඩම් කලානම්. ඇත්තටම අද කාලේ කොල්ලෝ
කෙල්ලෝ ටික ෆේස් බුක් එකේ ඉන්න වෙලා පොත් එක්ක පුස්තකාලේ ගත කලානම් ඒ ලෙවල් වලට A 4 අරන් අපේ රටේ කැම්පස් වල ඉඩත් නැතිවෙනවා. මොකටද අප්පේ ඒ වගේ ජාතික අපරාධ කරන්නේ එහෙම කලොත් අනාගතේ පොල් කඩන මිනිහටත් ඩිග්රි එකක් තියේවි, නැද්ද මං අහන්නේ????. තමන්ගේ ගෙදර පොල් කඩන්න ටෙන්ඩර් දාන්න වේවි. පත්තරේ ඇඩ් දාලා තමයි පොල් කඩන කෙනෙක් ගන්න වෙන්නේ.ඔච්චර කරදර විඳින්න ඕනේ නැහැනේ ඉගන ගත්තේ නැතිවූනාම.

අද මගේ මාතෘකාව බුකියේ තියෙන ගෘප්ස් සහ පේජ් ගැනයි. අපේ බ්ලොග් කාරයෝ බොහොමයකට තමන්ගේ බ්ලොගේට ෆෑන් පේජ් (Fan Page) එකකුත් බුකියේ තියෙනවා. ඇත්තටම ඔය විහිලු තහළු අපේ දැනුමට යම් යම් දෑ අරගෙන ඔය පේජ් කෙරුවාව ආපු කාලේ ගැන නම් මට ඒ හැටි නිච්චියක් නැහැ. නමුත් ඒ දවස් වල තිබ්බ පේජ් අතරින් ඉහලින්ම ගුණාත්මක දේ අරන් ආව කට්ටියක් තමයි කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය, I Love My Dream Girl/ Boy.  මම හිතන්නේ මම හරි වෙන්න ඕනේ. ඊට පස්සේ සිරිය ලතා, කෙහෙල් මල්, නැව ගිලුනත් බෑන් චූන් යනාදී වශයෙන් කාලයත් එක්ක නම් වත් මතක හිටින්නේ නැති තරම් පේජ් තොගයක් අප අතරට පැමිණියා. ඇත්තටම මෙහි concept එක තමයි පින්තූරයක් මගින් යම් පණිවිඩයක්, විහිළුවක් පිරිසක් අතර බෙදා හදා ගැනීම. ඇත්තටම ඒක ගොඩක් හොඳ දෙයක් ඒ නිසාමද මන්දා මේ කෙරුවාව ගොඩක් ජනප්‍රිය උනා. එන හැම දේම ඉහමුදුනින් පිළිගන්න එක අපේ ජාතියේ හැටිනේ.




උදාහරණයක් විදියට අපේ ටයිටස් තොටවත්ත මහතා අප අතරින් සමුගත් දිනවල හැමෝම කලේ එතුමාගේ ෆොටෝ ගෙන Share කරගැනීම. ඒ අතර තිබුණු එක කියමනක් මට මතක් වෙනවා.  "ස්ටීව් ජොබ්ස් මිය ගිය ගමන් ඇපල් අයි ෆෝන් එකක් තියා කිසිම ඇපල් නිර්මාණයක් අල්ලලා නැති උන් ස්ටීව් ජොබ්ස් ගැන ශෝක පණිවිඩ ප්‍රකාශ කළා. නමුත් ටයි මාමගේ කාටුන් බලපු නැති එකෙක් නැහැ ඒ කලගුණ මතක තියෙන එවුන් මේක ශෙයා කරපල්ලා" කියලා. මේ වගේ දේවල්, පසුගිය කාලේ හලාල් කතන්දරේ, නෝ ලිමිට් වගේ සිද්දි  මතක ඇතිනේ...... සෑහෙන්න ලොකු රැල්ලක් නිර්මාණය කළා මේ ෆේස්බුක් පේජ් ටික එක්කාහු වෙලා. අපිත් දකින දකින එකට ලයික් කරලා තම තමන්ගේ වෝල් වලත් ශෙයා කරගත්තා එහෙම නේද?.

උදාහරණයක් විදියට පසුගිය සතිය ගන්න. ඒ සතිය තුල එවැනි විහිළු තහළු කොමඩි කෑලි කීයක් නම් ඔබගේ වෝල් එකේ ශෙයා කරගෙන ඇත්දැයි බලන්න. මේ විහිළු තහළු අතර තියෙනවා සමාජය දැනුවත් කිරීමේ පණිවිඩ. අර මම කලිනුත් කී පරිදි හැම එකම ශෙයා කරන අපේ ගොයියලා මෙහි අන්තර්ගතය  සැබෑවක්ද බොරුවක්ද කියලවත් හොයල බලන්නේ නැතිව තම තමන්ගේ වෝල් වල ශෙයා කරගන්නවා. මෙන්න මෙතෙනටයි මට එන්න ඕනේ මෙච්චර වෙලා මම කලේ පඳුර තලපු එක දැන් අපි කෙලින්ම බහිමුකො මාතෘකාවට.

පසුගිය සැප්තැම්බර් 3 වෙනිදා හෝමාගම හබරකඩ ප්‍රදේශයම හැඬේව්ව දවසක් කිව්වොත් මම නිවැරදියි. ඒ අසල්වැසි මළගෙදරක ඇති වූ රණ්ඩුවක් බේරන්නට ගොස් පාපතර බේබදු අමනයෙකුගේ කුරිරු කිනිසි පහරකට ලක්ව අප අතරින් සදහටම සමුගත් මුදිත මාලවික සොයුරාගේ වියෝව හේතුවෙන්. මේ පිළිබඳව සිරස ටීවී එකේ 10 විකාශයේ සඳහන් වුනේ මේ අයුරින්. මුදිත කියන්නේ කොයි වගේ කොල්ලෙක්ද කියල බලන්න ඕනෙනම් මෙතනින් ඔහුගේ ප්‍රොෆයිලයට ගිහින් බලන්න.
මිතුරන් අතර හොඳ මිතුරෙකු වූ ඔහුගේ වියෝව ගැන මිතුරන් කම්පාවන අයුරු. ඇත්තෙන්ම කනගාටුදායකයි. ඔහු අප අතරින් නික්ම ගොස් මසක්වත් ගතවෙලා නැහැ. සල්ලිත් නැහැ සනීපත් නැහැ නම් පේජ් එකේ පසුගිය 26 වැනිදා මෙන්න මේ පින්තූරේ පලවෙනවා. මෙය හුදෙක් විහිළුවක් ලෙස සැලකිය හැකිද??????

ජීවතුන් අතර සිටින පුද්ගලයෙකුට විහිළුවක් කිරීම සාධාරණීකරණය කල හැක. නමුත් මිය ගිය අයෙකු අලලා පලකරන ලද මෙවන් තුට්ටු දෙකේ තිරිසන් ප්‍රකාශයකට 98 දෙනෙක් ලයික් කරලා තියෙනවා 256ක් තමන්ගේ වෝල් වල ශෙයා කරන තියෙනවා. මෙය නොදැන නොදන්න කමට කල දෙයක් කියල කියන්න පුළුවන්. නමුත් මේ පිළිබඳව කොමෙන්ට් 33කින් දන්වා තිබිය දීත් එම චායාරූපය ඉවත් නොකරන්නේ  සල්ලිත් නැහැ සනීපත් නැහැ පේජ් එකේ ඇඩ්මින් වරයාගේ අමන කමද...... තිරිසන් කමදැයි අපිට වැටහෙන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව මට කියන්නට තියෙන්නේ. ඕනෙම මොලේ නැති හරකෙක් මොන විදියේ හරි කුණුහරපයක් හදලා දැම්ම පලියට එයට ලයික් කරමින් ශෙයා කරමින් කියා පාන්නේ තමනුත් ඒ හරක් වැඩේ තිරිසන් වැඩේ අනුමත කරන බවත් තමනුත් බත් වෙනුවට කන්නේ පිදුරු සහ තණකොළ බවත් නොවන්නේද?



අපි කිසියම් දෙයකට ලයික් කරන්නේ ශෙයා කරගන්නේ එය තමන්ගේ සිත් ගත් නිසා හෝ එය යම්කිසි විදියේ ප්‍රකාශයක් නම් උදාහරණයක් ලෙස "මම හලාල් වැඩේට විරුද්දයි". මම ඒ ප්‍රකාශය මගේ වෝල් එකේ ශෙයා කරගන්නේ මම එයට විරුද්ධ නිසා, ඒ මගේ මතයයි. මේ පිංතූරය ශෙයා කරන ඇති 256ක් වූ පිරිසටත් එයට කැමැත්ත පල කල 98 දෙනාටත් කියන්නට ඇත්තේ මේ දෙය තමන්ගේ සොයුරෙක්ට යාලුවෙක්ට සිද්ධවුනා නම් මේකේ තියෙන බරපතල කම උඹලට තේරේවි. ඇත්තටම මේ වගේ පහත් මානසික මට්ටමක් ඇති උදවියත් අපේ සමාජේ ඉන්නවා නේද කියල හිතෙද්දි ලොකු කලකිරීමක් එන්නේ සල්ලිත් නැහැ සනීපත් නැහැ      පේජ් එකේ ඇඩ්මින් ගොයියට කියන්න තියෙන්නේ. තමන්ගේ පේජ් එකේ නම සල්ලිත් නැහැ සනීපත් නැහැමොළෙත් නැහැ
කියල වෙනස් කරන අතරම තමන්ගේ ඇති අම්බරු ගතිගුණ හදාගන්න එකයි. තමන් ගේ පේජ් එකත් එක්තරා විදියේ මාධ්‍යයක් එයින් අපි ජනතාව අතර ගෙනියන්න ඕනේ, නැති දේවල් කල්පනා කරලා බලලයි ලියන්න  ඕනේ. (මේ කෝරලේ වලව්ව බ්ලොගේ උනත් යම් මාධ්‍යයක්.මා මෙහි ලියන දේවල් කියවන පිරිසක් සිටිනවා මගේ වගකීම තමයි මා ඔවුන්ට හරවත් දෙයක් ලබාදීම). ලංකාදීප පුවත් පතේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන හේමන්ත ද සිල්වා මහත්තයා කියපු දෙයක් මට මතක් වෙනවා. "මාධ්‍ය කියන එක වැරදි පුද්ගලයෙකුට අහුවුනොත් එය වඳුරෙකුට අසුවූ දැලිපිහියක් වන අතර එයින් ඔහු වටපිටාවේ ඉන්න එවුන්ටත් හානි කරලා අන්තිමේ තමන්ගේ බෙල්ලත් කපාගෙන තමයි නවතින්නේ". 


මුදිත මචන් මේ කාලේ ඉන්න එවුන් සංස්කෘතියක් සදාචාරයක් ඇති එවුන් නෙවෙයි. පවුලේ සැමත් මිතුරු කැලත්  කරන්නාවූ කුසල් බලයෙන් ඔබට අති උතුම් අමා මහ නිවන් සම්පත් ලැබේවා කියල කෝරලේ වලව්වේ රචකයා වන මමත් මගේ පාඨක පිරිසත් ප්‍රාර්ථනා කරනවා.










මියගිය පුද්ගලයෙකුට කරන ලද මේ අපහාසය ඔබ හෙලාදකිනවා නම් මේ පේජ් එකේ පොස්ට් එක  Report කරන්න අපිට සහය වෙන්න.

අදහස් දැක්වීමට විවෘතයි. Anonymous ලෙසටත් කොමෙන්ට් කල හැකිබවින් අසැබි වදන් පළකිරීමෙන් වලකින්න.  

Related Posts Plugin for WordPress, Blogger...