Monday 24 March 2014

ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-2 වන කොටස

පලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලල එන්න 


නස්තාර් වෙන්න වැදිලා හිටපු මට සිහිය එද්දී මම හිටියේ වෑන් එක ඇතුලේ. කළුවරත් වැටිලා....... සිද්ද වෙච්චි දේවල් මතකයට නගාගන්න හැදුවත් කිසිම දෙයක් හිතාගන්න බැහැ ඔලුවත් කැරකෙනවා වගෙයි චමියා පිටිපස්සේ ශීට් එකේ ඉඳන් කඳන් ඉරනවා වගේ ගොරවනවා. බීච් එකේ ගල උඩ නිදාගෙන හිටපු මම කොහොමද හොදට ආවේ. මම ඇඳුම් මාරු කරගත්තේ කොහොමද...... හිත හිත ඉන්න අතරේ මට ආයෙම නින්ද ගියා. ආපහු ඇහැරුනේ මිනිස්සු වගයක් කතාකරන සද්දෙට. කවුද මගේ ඔළුවේ මොනවද ගානවා බැලුවාම බනියා මගේ ඔලුවේ දෙහිගානවා වෙරි බහින්න. :O එළියේ වෙන්නේ මොනවද කියල බලන්න මම වාහනෙන් එලියට බැස්සා. හැරා තව මිනිස්සු දෙතුන් දෙනෙකුත් එක්ක එකතුවෙලා වාහනේ මොනවද කරනවා. මාව දැක්ක හැටියේම හැරා "බලන්න මල්ලි මේ කෙහෙල්මල තල්ලුවෙන්වත් ස්ටාර්ට් වෙන්නේ නැහැනේ..... අනෙක බැටරිය සම්පූර්ණයෙන්ම බැහැල දැන් රෑ පාරේ යන්න බැහැ ලයිට්වත් දාන්න විදියක් නැහැනේ".... මොනවදෝ කිරීමෙන් පසුව නැවත වතාවක් තල්ලු කිරීමෙන් එන්ජිම පණගැන්වීමේ නිරර්ථක උත්සහයක අපි නිරත වුනා කාලය ගතවෙද්දී එතනට තවත් මිනිස්සු එකතු වුන අතර ඒ අතර ගොඩ වෙද්දු, හොර බාස්ලා නොයෙක් අන්දමේ අදහස් ප්‍රකාශ කරන්න වුනා (වාහනේ ලෙඩේ ගැන). කිහිප දෙනෙක් හිටියේ බීමතින් බව ඔවුන් වෙතින් හැමුව නිර්මල (?) කසිප්පු සුවඳින්ම තේරුනා.

කෙසේ හෝ එතන හිටිය පුද්ගලයෙකු සමග මම ළඟ ඇති ගරාජයකට ගියේ එහි මැකෑනික්වරයා කැඳවාගෙන එන්න. මැකා වාහනය පරීක්ෂා කරන අතර තුර එතන හිටිය ඩෝපර් කෙනෙක් අසැබි වදන් වලින් බැනවදින අයුරු මට ඇහුනා ඔහු පැමිණ සිටියේ මැකාව එක්කගෙන යන්නයි. අපි ගරාජයට යනවිට මැකා සිටියේ අම්බලන්ගොඩ කොළඹ ඒසී බස් එකක මොකක්දෝ වැඩක් කරමිනුයි. අපේ තත්වය පවසා වැඩක් විදියට නොව උදව්වක් විදියට මෙය සලකා අප සමග එන ලෙස මම මැකාගෙන් ඉල්ලු පසුව තමයි ඔහු අපිත් එක්ක ආවේ. මේ පැමිණි පුද්ගලයා එම රථයේ රියදුරා බව ඔහුගේ කතාවෙන් අපිට තේරුනා. ඔහු මැකාට දොස් නගමින් කියා සිටියේ මේ හු*** කරන්න කලින් යකෝ මගේ වැඩේ ඉවර කරපන් හෙට මම පාරේ දුවන්න ඕනේ. එවිට එතනට ගිය හැරා ඔහුව සන්සුන් කිරීමට හැදුවත් ඔහු හැරාව පසකට තල්ලු කරලා දැම්මා. මේ සිදුවීම දැකීමෙන් මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය අතර මා නැගිට එන අයුරින්ම ඩෝප් සීන්ට මා එන්නේ හොඳකට නෙවේ යයි අවභෝද වී මට පහර දීමට පැමිණියා. අතපය එහාට මෙහාට විසිවීමෙන් අනතුරුව ඩෝපර් බුවාව පාරේ හාන්සි කිරීමට මට හැකිවුනා.(කෝරළේ කියන්නේ නිකන්ද?)  මේ රණ්ඩුව අතර තුර මා අල්ලා ගැනීමට පැමිණි හැරාගේ කමීස කොලරයෙන් ඇල්ලු මා ඔහුව ඔසවා පසක තැබූ අතර අදටත් ඔහු එය විස්තර කරන්නේ ක්‍රෙන් එකකින් උස්සල තිබ්බා වගේයි මට තේරුනේ යයි කියමිනි. (මේකා සැහැල්ලුයි වැඩි බරක් නැහැ. අනෙක වලියකදී මාව අල්ලගන්න එන එවුන් මට පෙන්න බැහැ මොකද උන් නිසයි මට ගුටිකන්න වෙන්නේ)  මේ වන විට මැකා ඔහුගේ වැඩ කටයුතු නිම කර තිබු අතර  තාවකාලික ඇටවීමක් දැමූ බව පැවසු ඔහු විගසින් අපිට පිටත්ව යන ලෙසත් ඩෝපර් බුවා ඒ පළාතේ දාමරික පුද්ගලයෙකු බවත් ඔහු නැවත ඔහුගේ ගෝල බාලයන් සමග පැමිණීමටඉඩ ඇති බැවින් නොනවත්වා අපිට යන ලෙසත් පැවසීය.



ඒ අතර පිටුපසින් ඇසුනේ අයියේ.......... අක්කා කලන්තේ වෙලා වැ....ටු......නා යයි මල්ලිලාගේ කෑ ගැසීමයි. විගසින් දුවගොස් බනියා වත්තම් කොටගත් මා වාහනයට ගොඩවූ අතර හැරා එතන සිටි පුද්ගලයන්ට ස්තූති කිරීමෙන් අනතුරුව දුවවිත් වාහනය පණගන්වාගෙන ධාවනය කරන්නට විය. බනියා තවමත් පසුවන්නේ සිහිමද ගතියෙනි. මුහුණට වතුර ගැහුවද පලක් වූයේ නැත. වහාම හැකි ඉක්මනින් ඉස්පිරිතාලයක් කරා රැගෙන යන ලෙස මා පවසූ විට හැරා කීවේ මල්ලි මේ කට්ට කරුවලේ ලයිටුත් නැති පාරක හයියෙන් යනවා කියන්නේ වාහනේ හැප්පීමේ අවධානමක් ඇති බවයි. මොන අවධානමක් වුනත් කමක් නැහැ වාහනේට හෙණගහපුදෙන් පාගන්න පුළුවන් උපරිම පාගපන් අයි.......යේ. යැයි මම හැරාට කීවෙන් හැරාද පිස්සු බල්ලෙකු විසින් ලුහුබඳින මිනිසෙකු මෙන් වාහනය අරන් බලපිටිය රජයේ රෝහලට පැමිණියේය. බනියාව ට්‍රොලියකට දමා හදිසි අනතුරු ඒකකයට ගිය අතර ඇයව ECG පරීක්ෂණයකට ලක් කරන ලෙස දොස්තර මහතා පැවසීය.






මේ ECG රිපෝර්ට් එක එන (මට එක එන තාලේ දිරෙව්වෙ නැහැ :D )   අතරතුර මමද ක්ලාන්ත වීමට ගියෙන් චමියා වහාම පැන මා අල්වා ගත්තාය. ඇයගේ රිපෝර්ට් එක නොර්මල් බවත් රණ්ඩුව දැකීමෙන් ඇතිවූ අධික කම්පනය නිසා ඇය ක්ලාන්ත වූ බවත් දොස්තර මහතා පැවසීය. මමත් ක්ලාන්ත වන්නට ගියේ බනියා සිටි අන්දම මටද දරාගත නොහැකි වූ බැවිනි. රෑ 12 කණිසම ලබද්දී හතර වටින් රතිඥ්ඥා පත්තු වන්නට වූ අතර ඒ ජනවාරි 1 වෙනිදා උදාව බව අපිට වැටහිණි. බනියාට සේලයින් බෝතලයක් දී ඇයව රැගෙන වාහනයට ආ අපි නැවත කළුතර බලා යන්නට වූයේ ඉතා සෙමිනි. මග දිගින් දිගටම සියලුම දෙනා මට විහිලු කරන්නට වූයේ විනාඩි කිහිපයක් ඇතුලත ඩෝපර්ව බුවාව හාන්සි කල එකා ඉස්පිරිතාලේදී ECG එකක් ගන්න තාලේ දැකලා ක්ලාන්ත වීමට හේතු විමසමිනි. ඇයි යකෝ අච්චර ෆයිට් එකක් දීල කසාද බැන්ද කෙල්ල අසනීප වෙලා ඉන්නවා බලන්න පුළුවන් මොකාටද මම අහන්නේ????

ඔන්න ඔහොම පප්පල ටික යන අතරේදී සුදීක පප්පලාගේ මහා ගෙවල් හරියේ තියෙන බෙන්තර පාලමට පෙර ඇති පොලිස් මාර්ග බාධකයේ හිටපු සත් ගුණවත් පොලිස් බුවාලා ටිකත් වෑන් එකට අත දැම්මේ අද නම් කල්ල මරේ කියල හිතාගෙන වෙන්න ඇති. පොලිසිය වාහනේට අත දාද්දීම හැරා මට කිව්වා මල්ලි ඔය කිසිම දෙකට කතා කරන්න එපා. නංගිව ඔඩොක්කුවේ තියාගෙන ඉන්න. මෙතන වෙන හැම දේම මම බලාගන්නම්. හැබැයි වෙන කිසිම කෙනෙක් කටක් හොලවනව එහෙම නෙවෙයි කියලා. මොකද හැරා දන්නවා මම පොලිස් කාරයොන්ට ගොඩ වෙලාවට දානවා කියලා ලෝ ටෝක්ස්. මතකයි නේ.......  ඉතින් මේ වෙලාවේ එහෙම කතා කරන්න පුළුවන් තැනකුත් නෙවෙයි. වැරදි ගොඩක් එක්ක තමයි අපි ඉන්නේ. වාහනේ ඇතුලට ටෝච් ගහපු පොලිස් මාමලා, හා......... කට්ටිය මේ පළවෙනිදා ලයිටුත් නැතිව කොහෙද යන්නේ?????  කියල හැරාගෙන් ඇහුවා. අනේ මහත්තයෝ බලන්නකෝ වෙච්ච වැඩක් මේ ඉඳුරුව හරියේදී වාහනේ ලයිට් වැඩකරන්නේ නැතිව ගියානේ. බලන්න කෝ....... දැන් රෑ එකත් පහුවෙලා අපිට කළුතරට යන්න ඕනේ. අපි සෙට් එක හිටියනම් එළිවෙනකල් හරි ඉන්නවා මේ අපේ නංගි ඉන්නවා. එයාට අසනීප වෙලා ඉස්පිරිතාලෙත් නවත්වල ඉඳන් අරන් යන්නේ. මේ බලන්න ECG රිපෝර්ට් එක යනුවෙන් හැරා ලෝකෙම නැති දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නට විය.


එහෙම කියල බැහැනේ ඔයාල මේ කරන වැඩේ අනතුරුදායකයි. දඩයක් නම් ලියන්නම වෙනවා කියල පොලිස් මාමා කිවා. අනේ මහත්තයෝ එහෙම කරන්න එපා. මේ නංගි නැත්නම් අපි මෙහෙම යන්නේ නැහැ. අපිට මහපාරේ ඉන්න බැහැනේ එහෙම ගෑනු ළමයෙකුත් තියාගෙන. (සිරාවටම බනිය හිටියේ නැත්නම් අපි එන්නේ නැහැ) මේ වාහනේ ලෙඩේ නිසා  උදේ ඉඳන් කට්ට කනවා. මේ කතරගම ඉඳල එන්නේ. කොටින්ම කියන්න මහත්තයෝ උදේ කෑවට පස්සේ මෙතන ඉන්න කවුරුවත් කාලා නැහැ. යනුවෙන් ලෝක වැල් වටාරමක් දිගහැරිය පසු එයට සවන් දීමෙන් පොලිස් මාමලාගේ පපු කැනතු වෙඬරු මෙන් උනුවූ අතර, අන්තිමේ දඩ ගැසීම (අපෙන් ගානක් කඩාගැනීම) කෙසේ වෙතත් ඔවුන්ගේ රාත්‍රී ආහාරය සඳහා තියාගත්තයි  කී ෆ්‍රයිඩ් රයිස් දෙකකුත් (කාගෙන් හෝ ගලවපු දතක් වෙන්න ඕනේ. නැත්නම් රෑ 2ට 2.30 මොන රෑ කෑමද) අපට බලෙන්ම පිරි නැමූ අතර අපි ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කලත් පිටිපස ශීට් එකේ සිටි පොඩි එවුන්ට එම බත් පාර්සල් දෙක දුන් පොලිස් මාමලා ලොරියක් නතර කොට එහි රියදුරුට ඉදිරියෙන් යන ලෙසත් කළුතරටම අපිව ඇරලවන ලෙසත් පැවසුවා. ඔවුන්ට මුව නොසෑහෙන්න ස්තූති කල හැරා වාහනයට ගොඩ වූයේ රටක් දිනු රජෙකු මෙන් ආඩම්බරයෙනි. (ආඩම්බර නොවී කොහොමද පොර පොලිස් කාරයොන්ටත් බිලක් දාපු එකෙක්)

ලොරිය පිටුපසින් ඉබිගමනින් ගමන්ගත් අපි තුන 3.30පමණ ආච්චිලාගේ නිවසට සේන්දු වුනා. පසුදා උදෑසන 7ට පමණ අවදි වී කීර්ති මාමත් කැටුව නාගොඩ ප්‍රදේශයේ ගරාජයකට රැගෙන ගොස් ඕල්ටර්නෙටරය නමැති අටමගලය ගලවා වෙන එකක් අළුතෙන් දැමුවෙන් ප්‍රශ්නය විසඳින. නමුත් එදින පළවෙනිදා හේතුවෙන් බාස් කාරයා වැඩිපුර ගානක් අය කලේ අද වැඩකරන්නේ වරුවයි මහත්තයෝ. නොකර බැරි කමට කරා. නැත්නම් අතවත් තියන්නේ නැහැ අද දවල් 12න් පස්සේ වැඩ වලට. කොහොමින් කොහොම හරි වාහනේ ගරාජයෙන් එලියට ගනිද්දී හවස 3නත් පහුවෙලා. මමයි, හැරායි, චමින්ද මාමයි හිටියේ තවම ඊයේ ඇඳගත්තු ඇඳුම් පිටිං. මමයි චමියයි දෙන්නා මුහුදේ ලුනු වතුර නාපු ගමන්. නිවසට පැමිණ කෑම කා නැවත කොළඹ එන්න පිටත් වීමට පෙර බනියාගේ ආච්චි අම්මා පැවසුවේ පුතේ මේ අවුරුද්ද හරිම පරිස්සමෙන්...... ඔයාලට අවුරුදු ලැබුවේ මහා හොඳම නැති විදියට. මේ වාහනේ නිසා ඔයාලට ගොඩක් කරදර වියපැහැදම් වෙන්න තියෙනවා. ඒ වගේම දුවගේ ගැනත් කල්පනාවෙන් ඉන්න එයාට සෞඛ්‍ය පැත්තෙන් බොහොම දුර්වල වෙන්න ඉඩ තියෙනවා. 

එන ගමන් ආච්චිගේ හණමිටි අදහස් යැයි ඔච්චම් කරමින් ආවත් ඊට සති දෙකකට පසු කතරගම යන විට හරකෙක් හැපී වාහනේ මූණම කුඩු වූ අතර තෙවන සතියේ ස්විෆ්ට් කාර් එකක් වැදීමෙන් වම් පස දොරද ඇතුළුව කොටසට හානි සිදුවූ අතර අතේ ලයිසම නැති බැවින් ඉන්ෂුවරන්ස් ගැනීමට නොහැකිවූයේය. (කොටින්ම කියනවනම් ඒ අවුදුද්ද ඇතුලත කිසිම විදියකින් වාහනේ ගරාජ් එකෙන් එලියට ගන්න බැරි වුනා) එමෙන්ම එම අවුරුද්ද ඇතුලත බනියාට ඇයගේ කකුලේ අමාරුව දැඩිව දැනුනු සහ  සෞඛ්‍යමය අතින් දැඩි ලෙස පීඩා විඳි වසරක් විය. ඒ විතරක්ද? කෝරළේ ගොයියට වැලිකඩ දවස් දෙකේ සංචාරය සඳහා අවස්තාව ලැබුනෙත් ඊට සතියකට විතර පස්සේ තමයි. ඔය  ජවුසන් සියල්ල නිම කිරීමෙන් පසු මා නැවත ඩුබායි පැමිණි අතර. කොම්පැනියේ නවාතැනේ සිටි බැවින් වාහනේක අවශ්‍ය තාවයක් නැති බැවිනුත් අලුත් කාර් එක විකුණා පරණ වාහන කටුවක් ලාබෙට ගෙන (ලෝභ කමට) අනිවාර්යයෙන්ම මාසෙට සැරයක් නැත්නම් දෙකක් ගරාජ් වන්දනාවේ යාමට සිදුවිය. කෙතරම් විකිණීමට තැත් කලද කිසිවෙකු හට එය විකිනීමටද එම වසර අවසන් වන තෙක් නොහැකි විය. හණමිටි අදහස් තදින් ඇදහුවේ නැති වුනත් මේ වෙච්ච සිද්දි වලින් පසුව දෙසැම්බර් 31 සහ ජනවාරි පළවෙනිදා ඉතා කල්පනා කාරීව ගෙදරට වී ගත කිරීමට මම පුරුදු වෙලා තියෙනවා. කොච්චර හිතුවත් ඔය බහුභූත කතා ඔව්ව මිත්‍යා මත කියල...... මගේම යටිහිතින් මාව පස්සට අදිනවා වගේ තේරෙනවා. ඔය මති මතාන්තර වල ඇත්ත නැත්ත කොහොම වුනත් කෝරළේ මහත්තයා පලවෙනිද නම් කරන්න කැමති ලොකුම දේ තමයි හොඳට කාල බීල නිදාගන්න එක. හික් හික් හික් 

ස්තූතිය මෙම කතාව ලිවීමට ගෝ එක දුන්නු අපේ හෙන්රි අයියට

ප.ලි. කියනන් අමතක වුනානේ මේ පහුගිය පළවෙනිදා ඉඳල මමත් අමද්‍යප ව්‍යාපාරයේ ස්වයන් පාලනයක් කරගෙන යනවා.

පින්තූරවල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුයි.

ඔන්න දැන් අපේ කාන්තා පාර්ශවය පිරිමි බොන එකට බනින්න එපා මෙහෙමයි ගෑනු උදවිය බොන්නේ.




Sunday 23 March 2014

ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-1 වන කොටස

අද නම් මේ පොස්ට් එක ලියන්නේ ලියන්න හිටි දෙයක් නෙවෙයි නමුත් අපේ ඩුඩ් අයියටත් මට වගේම අකරතැබ්බයක් වෙච්ච නිසා ඒ ලියල තිබුණු ලිපියේ ඩුඩ් අයියා කියල තිබුනා ඕන්න ඔහේ උඹේ අත්දැකීමත් ලියල දාපන් කියලා. ඒ නිසයි මේ පොස්ට් එක ලියන්න හිතුනේ. මේ සිද්දිය වුනේ එකදාස් නවසිය බර ගණන්වල නම් නෙවෙයි මේ 2012 මම ඔය වැලිකඩ නිවාඩුවට යන්න ඉස්සෙල්ල. මට ඉස්සර ඉඳලම තියෙනවා මහා බරපතල සුව කරන්නට අමාරු රෝග දෙකක්. මම මේ ප්‍රථම වතාවට තමයි පොරසිද්දියේ මේ වගේ ඒ ලෙඩ දෙකක්ම තියෙනවා කියල පිළිගන්නේ. කාටවත් කියනවා එහෙම නෙවෙයි ඕන්...... පලවෙනි ලෙඩේ තමයි ලංකාවේ ඉන්න කාලේ ට්‍රිප් යන්න කොහේ හෝ ඇවිදින්න තියෙන ආසාව. දෙවැනි එක තමයි රථ ගාය. ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නැහැනේ ඉතින් මේ ලෙඩ දෙක හින්දා වැටුණු අමාරුවක් තමයි මම මේ කියන්න යන්නේ දැන් ඉතින් අපේ ඩුඩ් අයියට වගේ නම් මතක් වෙන්නේ වාහනේක නෙවෙයි අල්මාරියකවත් යතුරක් කතාව.... හික් හික් හික් 

කොහොමින් කොහොම හරි තමුන්ටම කියල බර කරත්තයක් වත් නැති කම ලංකාවට ආවම මට සෑහෙන්න ප්‍රශ්නයක් වුනා. මොකද හතර වටේම ඉන්න පවුලේ උදවියගේ අනුග්‍රහය බලාපොරොත්තුවෙන් ඉන්න එක මට හරිම වදයක් වුනා. ඒ වගේම එහෙම වාහනයක් අරන් ගියාම ඒක අනවශ්‍ය බලපෑමක් වෙනවා හිතට. ඕකට පිලියමක් විදියට පරණ කාර් කටුවක් ගන්න ඕනේ කියා කියා හිතන් ඉන්න අතරේදී තමයි අපේ හාමිනේ පොඩ්ඩ, වෑන් එකක් ගන්න අදහස ඔලුවට දැම්මේ. මොකද වෑන් එකක ඉඩකඩ එහෙමත් තියෙනවා අනෙක වැඩි දෙනෙකුට යන්න පුළුවන් ඉතින් මේකට හරියන්න මමත් ගත්ත කියමුකෝ වැනට් එකක්. පරණයි තමයි. පරණ උනාට තමුන්ගේ තරමට එපැයි වැඩ කොරන්නත්. මේක ගන්න ඔක්කොම සැට් වෙලා තියෙද්දී අපේ හැරා ගොයියා මට කිව්වේ මල්ලි මේකේ ඕල්ටර්නේටර් එකේ අවුලක් තියෙනවා පොඩ්ඩක් මිනිහට කියන්න ඒක හදවල දෙන්න කියල මිරිස් බදිනවා වගේ ගඳක් එනවා කියලා. 

කකුල් කෙටි දෙක ටිකක් දික්වෙච්ච දවස් වල ඉඳලා සුක්කානම් කැරකුවට මොකෝ පැහැදිලිවම මගේ කාර්මික දැනුම නම් අන්තිමයි.කොටින්ම අදටත් වාහනේක ටයර් එකක්වත් මාරු කරගැනීමේ හැකියාවක් නැහැයි කියන්නේ හතර විලි ලැජ්ජාවෙන්. කොහොම හරි වාහනේ අරන් එන දවසත් ආවයි කියමුකෝ වාහනේ අරන් එන්න යන්න හැරා ගොයියට නිවාඩු තිබුනේ නැති නිසා මම හාමිනේත් එක්ක ගොහින් වාහනෙත් අරන් ආවයි කියමුකෝ. එන්න කලින් මම පෙර අයිතිකරුගෙන් ඇහුවා "අයියේ මේකේ අර ඕල්ටර්නේටර් එකේ අවුල හැදුවද" කියලා මිනිහා ගත් කටටම හෙන මැකෑනික් ටෝක් එකක් දාල කිව්වා "හරි මල්ලි එව්වා මෙව්වා අරවා ඔක්කොම හදල තියෙන්නේ දැන් ඔයාට තියෙන්නේ දුවන එක විතරයි" කියලා. කොහොම හරි අපේ සනිස්ගෘතියේ හැටියට වාහනයක් ගත්තාම යන්න ඕනේ දේවාලකට හරි පන්සලකට හරි නමුත් ඊට පහුවදා බනියගේ පුංචි ආච්චි මැරිලා වැඩකොරන (අවසන් කටයුතු) දවස. මලගේ තිබුනේ කොලොන්නාවේ. මුල් දවසේ ඉඳලා විදේශාධාර ඔක්කොම හුවමාරු වුනේ මම හරහා තමයි මළගෙදර මූල්‍ය වගකීම් පැත්ත පැටවිල තිබුනේ මගේ පිට නිසා හවස අනිවාර්යයෙන්ම මළගෙදර යන්න සිදුවුනා. 

හැබැයි මේ සිද්දිය සම්බන්ධව කිහිප දෙනෙක් නොයෙක් අදහස් ප්‍රකාස කොලත් මේ කෝරළේ ගොයියා නෙවෙයි ඔය මිත්‍යා මත ගණන් ගත්තේ. මරණේ වැඩ ඉවර කොරලත් සතියක් යනකල් ඉඩකඩක් ලැබුනේ නැහැ දේවාලෙකට යන්න. ඉතින් ඔය අතරේ තමයි දෙසැම්බර් 30 උදාවුනේ. දන්නවනේ කෝරළේ මහත්තයා කියන්නේ සමරන්න අවස්තාවක් එනකල් බලන් ඉන්න ඩයල් එකක් කියලා ඒ දවස් වල (බෝතලයක් කඩන්න). ඉතින් හාමිනේටත් බටර් පාර ගාලා පුංචි ආච්චිගේ පුතා වන චමින්ද මාමවයි, හැරායි, තව බනියගේ මල්ලිලා දෙන්නෙකුත් එක්ක යන්න පිටත් වුනා අම්බලන්ගොඩ බීච්. 30 රෑ කළුතර බනියගේ ආච්චිලාගේ ගෙදර ඉඳලා යන්න තමයි කතාවුනේ 31 පාන්දරම. පාන්දර යන තරමට වැඩිපුර බොන්නත් ඇහැකි නොවෑ. කොහොම හරි බණ්ඩාරගම පාරේ වාහනේ අරන් ඇවිත් කළුතරට කිට්ටු වෙද්දීම අපේ එවුන්ට හැදුනා සුදහ ගින්න කොත්තු කඩ දකිද්දී. මුන්ගේ කරදර කාරී ඉල්ලීම් වලින් බේරෙන්න බැරි තැන මමත් මුස්ලිම් කඩයක් අල්ලලා නැවැත්තුවා. චමින්ද මාමා බැහැලා ගිහින් රෝල්ස් වගයක් අරන් ඇවිත් හැමෝටම දුන්නා මට පලවෙනි කට කද්දීම තේරුනා පොඩි අමුතු රහක්. මම බැහැලා ගිහින් කඩෙන් ඇහුවා මේ මොන රෝල්ස් ද කියලා කඩකාරයා මගේ දිහා කින්ඩියට වගේ බලල කිව්වා ඔය හරක් මස් රෝල්ස් කියලා.

ප්‍රතිපත්තියක් විදියට හරක් මස් නොකන මට මේ සිද්දවෙච්චි දේ සෑහෙන්න අවුල් වුනා. මොකද කඩකාරයට බැනලත් වැඩක් නැහැනේ අපේ ගොසලෑවා හොයන්නෙ බලන්නෙ නැතිව අරන් ආවට. එතැනින්ම කටත් හෝදගෙන කෝපි එහෙකුත් බීලා වාහනේට නැගලා ස්ටාර්ට් කරන්න හදනවා වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මට බැරිම තැන හැරාට රියදුරු අසුන දීල බැස්සා වැඩේ හරියන්නේ නැහැ. දැන් කළුවර වැටිලා නිසා හෙට උදේම ප්‍රශ්නය මොකක්ද කියල බලන්න තීරණය කරපු පයිලට් හැරා තල්ලු ස්ටාර්ට් එකෙන් වාහනය ආච්චිලාගේ ගෙදරට අරන් ආවා. එදා රෑත් සුදු කැටේකින් (White Diamond) සප්පායම් වෙච්චි අපි තුන්දෙනා නිදාගනිද්දි පාන්දර 3 ත් පහු. 

පහුවෙනිදා උදේ මම නැගිටින කොටත් හැරයි චමින්ද මාමයි දමාගෙන මොනවදෝ කොරනවා වාහනේබොනට් එක උස්සාගෙන. කට්ටිය ලැහැස්ති වෙලා ඉවර වෙලා ඉවරවෙද්දි ආච්චි අම්ම කියාපි පුතේ ඔයා එළවන්න එපා හැරල්ඩ්ට දෙන්න අරං යන්න. ඔයාට ඊයේ සිද්දවෙච්ච දේ අනතුරු ඇඟවීමක් වගේ දෙයක් කියලා. ඒ වෙද්දීත් හරියට වෙරි බැහැල නැතිව හිටි මම බැලුවා එකපාරටම මේ කඩන් වැටුන මරාලේ මොකක්ද කියලා. පස්සේ තමයි මට හරක් මස් රෝල්ස් එක මතක් වුනේ. අනෙක් හැමෝටම මාළු රෝල්ස් ඇවිත් මටම හරක් මස් එක හම්බවුන එකත් මම දේවාලේ නොගිහිං මළගෙදර ගිය සිදුවීමත්, හැරාට තල්ලු ස්ටාර්ට් මගින් වාහනේ පනගන්වාගන්න හැකිවීමත් මට නොහැකිවීමත් (මම තල්ලු ස්ටාර්ට් උත්සහ කොලේ නම් නැහැ) එකට ඈඳල ආච්චි අම්මා වෙනම රචනාවක් තිරගත කරනවා. වස්ලු අරකලු මේකලු. යකෝ මේක හරි මගුලක් මම ගත්ත වාහනේ මට පදින්න බැහැ. වස්........... වස් නෙවෙයි What The F***....... මාව පැත්තකට අඬගහගත්තු හැරා ඕක හරි මල්ලි....  එයාලගේ හිත හැදෙන්නත් එක්කල මෙතනින් මම එලියට අරන් පාරට ගිහින් මම ඔයාට දෙන්නම් දැන් වාදෙට යන්න එපා එයාලගේ මතවාද අපිට වෙනස් කරන්න බැරි තරම් එයාල වයසයි. යනුවෙන් මට කරුණු වටහා දුන්නු හැරා. ගේම ගොඩින් බේරාගත්තා. 

අම්බලන්ගොඩට10.30 විතර අපි යද්දී ලොකු මාමගේ පොඩි දෙන්නයි අපේ සෙලෙස්තිනා නොහොත් මගේ පොඩි නෑනාත් Ready පිට හිටියේ නාන්න යන්න. උන්දලවත් වාහනේට නග්ගවාගෙන අම්බලන්ගොඩ රට බීම හලෙන් නැවැත්තුවේ සුදු කැට දෙකක් ගන්නයි. ඒ නැවැත්තුව ටිකටත් පොඩි එවුන් කලබල කරන්න ගත්තේ ඒ පරක්කු වෙන විනාඩි පහට මුහුද පිට රට යයි කියල බයේ වගේ. යකෝ....... මේ සෙට් එක  මේ අම්බලන්ගොඩම දවස් 365 හේම ඉඳලත් හරියට හත් අවුද්දකින් නාලා නැහැ වගෙයි නාන්න තදියම. අපි මේ මෙච්චර දුර ඉඳලා මේ ආවේ මොන තරම් දැවැන්ත සැදැහැවත් වැඩක් කොරන්නද?????? මුන් මේ නාන්න හදනවා. බෝතල් ටිකත් අරන් එතන ඉන්න කඩල කාරයාගෙන් බයිට් ගණන් ගියාම තමයි මම ජීවිතේ පලවෙනි වතාවට කෑව හොඳම බයිට් එක වෙච්ච පොතුපිටින් තෙලේ බැදලා අරං ලුණු කුඩු ,මිරිස් කුඩු ඉහපු සුදුලූනු දැක්කේ චමින්ද මාමගේ ඉල්ලීම පරිදි එයිනුත් කිහිපයක් ගත්තේ වෙනසකට එක්ක. (හැබැයි අපිට නම් කන්න හම්බ වුනේ නැහැ නොබොන එවුන් කාලා ඉවර කළා)   



                           මේ තියෙන්නේ තැන. පින්තූරය ඉස්සුවේ ගූගල් දෙවි පිහිටින්
 
බීච් කිව්වොත් මම කවදත් හරිම කැමති තැනක් තමයි අම්බලන්ගොඩ පරණ පාරේ පරණ තානායම (දැන් තියෙන්නේ මෙයා නටබූන්ස් විතරයි ඒකයි පරණ කියල කිව්වේ. you know වට් අයි මීන්) පිටිපස්සේ කන්ද බැහැලා ගියාම තමයි මේ සුන්දර ස්ථානය තියෙන්නේ.ගල් දෙකකින් වටවෙලා පොකුණක් වගේ වැඩි ගැඹුරක් නැතිව හැදුන. මෙම ස්ථානයට  ඒ පළාතේ උදවියනම් කියන්නේ මුහුදු පොකුණ කියලා, අපිත් ඒ නමම කියමුකෝ...  වාහනේ තානායම් වත්තේ නවත්වල නාන එවුන් නාන්නත් බොන එවුන් බොන්නත් සැටමෝල් වුනා. අර කලින් කිව්වා සුදු ළූණු බයිට් එකෙන් අපි බිග් තුනක් කන අතරේ ඉතිරි ගෙඩි සියල්ල වාෂ්ප වුනේ පොඩි එවුන්ගේ පොඩි කමට කියමුකෝ හැක් හැක් හැක්.... හවස් වෙනකල්ම බිබී ඉන්න අතර වාරයේ මගේ මීටරේ අවුට් යන්න පටන්ගෙන තිබුනේ. හරියට වැහි කුනාටු සහිත දිනයක් සාමාන්‍ය ඇන්ටනාවකින් රූපවාහිනිය බලනකොට වගේ තමයි ඉඳල හිටලා පියවි සිහියට එනවා ආයේ අවුට්. ලොකු මාමා මේ එක විගඩමකටවත් සහභාගී නොවී හිටියේ එතන වැඩිහිටියෙක්ගේ (කෙලින් කටින් ඉන්න ) වගකීම මොනවට ගෙනහැර පාමින්. 

ඔය අස්සේ තමයි ලොකු මාමගේ පොඩි පුතා මහා හයියෙන් බෙරිහන් දෙන සද්දේ ඇහුනේ. ගෙහුං බැලින්නම් මේකා ගල් උඩ නගින්න ගොහින් ඇනගෙන ඉකිරි කටුවක්. වටවුණු උදවිය එක එක කතා කියනවා. අපොයි දෙයියනේ මේවා ඇනුනම පිළිකා හැදෙනවලු මේ ළමයට අරක කරන්න මේක කරන්න යනාදී වශයෙන් නොයෙක් අදහස් ඉදිරිපත් කොරනවා. එතන හිටපු සීයා ටයිප් වයසක මනුස්සයෙක් තමයි කිව්වේ කකුලට මූත්‍රා කරන ලෙස. එය කෙම් ක්‍රමයක් බවත් එයින් විස පැතිරීම වලක්වෙන බවත් තමයි ඒ සීයා සඳහන් කොලේ. හප්පේ පොඩි එකාගේ කකුලට චූ කරන්න එතන හිටපු හැමෝම ඉදිරිපත් වුනේ හදවත උනුවෙලා (හදවත තිබුණු තැනයි ප්‍රශ්නෙකට එන්නේ) :) කොහොම හරි පොඩි එකාව දොස්තර කෙනෙක් ලඟට අරන් ගියේ අපේ හාමිනෙයි සෙලයි, මාමයි, හැරායි එකතුවෙලා මස්සිනාලා දෙන්නයි චමින්ද මාමයි එක්ක මම බීච් එකේ හිටියා. ඒ ඉන්න ගමන් ඉතිරි කොටෙත් දෙන්නත් එක්ක අහවර කරා නමුත් ඒ වෙද්දී ලිමිට් පැනලා කියන එක මටවත් චමින්ද මාමටවත් තේරුනේ නැත්තේ වයිට් ඩයමන්ඩ් කියන්නේ තැපෑලේ වදින බීමක් හින්දා වෙන්න ඕනේ. 


හිතුවට වැඩිය පොස්ට් එක දිගවැඩි නිසා කොටස් දෙකකට කඩන්න තීරණය කොලා. බිහිසුණු සටන් ජවනිකා, සංවේදී දර්ශන, ඩෝප් සීන්,  පොලිස්කාරයින්ගේ මාළු උන්ගේ ඇඟේම තියා කැපීම. රෑ 12 කොහෙද හිටියේ මොනවද කරේ? ඇඟේ මයිල් ඉස්මයිල් වන ත්‍රාත්සජනක අත්දැකීම   දෙවැනි කොටසින් බලාපොරොත්තුවන්න. මාතෘකාව නම් ගෙඩිපිටින් හෙන්රි අයියගෙන් ඉස්සුවේ. (නොකියා) 

                               මේ ඉන්නේ කෝරළේ මහත්තයා ඒ....... කාලේ එකදාස්අටසිය බර ගනන් වල

                  මේ ගල උඩ ලැග්ග රිලව් දෙන්න වගේ ඉන්නේ හැරා සහ චමියා යන මහතුන් දෙපලයි

                               මෙන්න නාන විදිය. ස්විමිං පූල් එකක් වගේ.
                        
දෙවැනි කොටසට යන්න මෙතනින්



Saturday 1 March 2014

බෙන්තර වැඩ මුළුව සහ ලොකු මාමා සහ ගීතා නම් ගැට+ඉස්සි



මේ ලියන්නට යන්නේ සුළු ඕපා දූපයකි. එයට හේතු පාදක වුනේ අපේ 60 පැන්නත් කොල්ලා කෙන්ජි අයියාගේ නවතම පෝස්ට් කටුව කියවීමෙන් පසුවයි. ඒ වර්ෂ 2009 අග භාගය බැව් මට යන්තමින් වාගේ මතකයි.  නිවාඩු ගොස් සිටි මා මූලිකවම අරමුණු කරේ මාගේ ජාතික හැඳුනුම් පත සකසා ගැනීමටයි. (ඇයි යකෝ මෙච්චර වයස වෙලත් අයිඩින්ටියක් නැහැයි කියන්නේ ඉපදුනු රටේ, වහ කන්න වෙන වැඩක් නේ). ඒ කටයුත්ත විගසින් කරදීමට හැකි එකම පුද්ගලා මගේ ගෞරවණීය ලොකු මාමා ජී නොහොත් මාගේ මවගේ ලොකු අයියා ඒ දිනවල කටයුතු කලේ බෙන්තර ප්‍රදේශයේ තරුණසේවා කටයුතු භාරවයි. (සූදීක අයියා දන්නවත් ඇති සමහර විට). තැන තැන රස්තියාදු ගසමින් කාලය ගතකල මට දිනක් ඔහු පැවසුවේ පුතා බෙන්තර තියෙනවා අපේ හොඳ වැඩ මුළුවක් ඔයත් එන්න. අඩුම තරමේ දෙයක් ඉගෙනගන්නවත් ඇහැකි වේවි නේ. නිකන් රස්තියාදු ගසමින් ඉන්නවාට වඩා හොඳයිනේ යනුවෙනි. නමුත් එහි යාමට මට එතරම් පිරියක් නොතිබුනේ ඒ දිනවල මාගේ ප්‍රේම පුරාවෘතය දැඩි ලෙසම ගලාගෙන යන දිනයන් වූ බැවිනි. එබැවින් ලොකු මාමාට කට් එකක් දැමීමට මගක් සොයමින් සිටි මට, පෙරම ඔහු මාගේ දෙමවුපියන්ගේද අවසරය ගෙන තිබුනෙන් මාහට කීමට දෙයක් ඉතිරි නොවීය. අම්මපා කිව්වොත් ඒ දවස් වල ගහල තිබුන ලව් මාන්දම නැත්නම් මා කිසි විටෙකවත් එවැනි සම්මන්ත්‍රණ වැඩමුළුවක් අතපසු කරන්නේ නැහැ, මී ඇස් දෙක පල්ලා ඔව්..... 

"තමුන්ට වැඩමුළුවට ඉන්න බැරිනම් ෆොටෝ ටික ගහන වැඩක්වත් කරනවකෝ" යැයි ලොකු මාමා පැවසුයේ එහි පැමිණීමට නොහැකි යැයි ඉදිරිපත් කල කණු කුණු වල ප්‍රථිපලයක් ලෙසිනි  ඔහුගේ ඉල්ලීම  හිස් මුදුනින්ම මා පිළිගත්තේ එය මට දුරකතනයෙන් මල් කැඩීමට භාධාවක් නොවනා බැවිනි. එම වැඩමුළුව පැවැත්වූයේ බෙන්තර ගාමිණි විද්‍යාලයේ බව මට යන්තමින් වාගේ මතකයි.  එහි ගිය පසු මට භාර වූ ෆොටෝ ඇල්ලිල්ලක් නම් නැතිය. යන තැනම සිටි ඉටිකිරිස් අක්කලා සෙට් එකකට මාව ඔහුගේ පුතා ලෙස හඳුන්වා දෙමින් මාව සම්මන්ත්‍රණ ශාලාවට රැගෙන යන ලෙස අක්කලාට මාව භාර දුන් ලොකු මාමා අන්තරස්ධාන විය. මල්ලි ඔයා සර් ගේ පුතාද අනේ බලන්නකෝ ඔයාගේ ලොකු....... මම අවුරුදු ගානකට කලින් ඔයාලගේ ගෙදර එද්දී ඔයා හරි පොඩියිනේ යනුවෙන් මුකුළු බස් දොඩවමින් විස්තර අසන්නට විය. මුන් මේ ෂුවර් එකටම අසන්නේ සචියා (ලොකු මාමගේ පුතා ගැන වියයුතුයි ඌ දන්නවනම් බෙල්ල එල්ලගෙන මැරෙනවා) . බලන්නකෝ මල්ලි ඔයා හරි උස ගිහින් ලොකු වෙලා, හයියෝ මේ ඇන්ටිලා සෙට් එකේ වදෙන් බේරෙන්නට බැරි විය. මටද එසේ බේරීමට කිසිම ඕනා කමක් නොතිබූ බව විලි ලජ්ජාවෙන් තොරව ප්‍රකාස කොරන්න කැමතියි. කෙසේ හෝ එම වැඩ මුළුවට සහභාගී වූවන් අතරින් මට නම මතක සෝමසිරි මැදගෙදර මහතාගේ පමණය. නමුත් සියලු දේශණ හරවත් කම්මැලි නැති අන්දමින් කරගෙන යාමට ඔවුන් සමත්වූ බවත් පැවසිය යුතුයි. 


එම උත්සවයේ සංවිධායක අක්කලාගේ නොමසුරු සංග්‍රහ (කෑම බීම) මැද කාලය ගතවනු මටනම් දැනුනෙවත් නැති තරම්ය. නමුත් ඕනෙම හොඳ වැඩක අවසන් කොටස අජපල් කිරීම අපේ ලංකාවේ සිරිතයි එනම් දේශපාලු ඩයල් මේ වගේ උත්සව වලට සහභාගී කරගැනීමයි. එම කොට්ටාශයේ විවිධ දස්කම් දැක්වූ තරුණ පිරිස් සඳහා සහතික පත් සහ සම්මාණ බෙදා දීමේ උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ දකුණු පළාත් මහ ඇමති අපේ තඩි ශාන් අංකල් සහ අපේ බෙන්තර සංවිධායිකා ගීතා කුමාරසිංහ මෙනවියයි. මෙනවිය ????? පොඩ්ඩක් ඉන්නවකෝ මැදින් පනින්නේ නැතිව. මෙනවිය කිව්ව කාරණේ කියනකල්. තවත් දේශපාලු බුවාලා රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විය. නමුත් මෙහි දිරවා ගත නොහැකිම කොටස වූයේ මොවුන් පැමිණෙන්නට වුයේ වරින් වරයි. එම නිසා උත්සවයේ වැඩකටයුතු වලට භාධාවූ බව පැවසිය යුතුයි. අන්තිම මොහොතට ටිකකට කලින් එතනට සැපත් වීමට අපේ ගැට කෑල්ල ගීතා නගා සමත් විය. ඇයව පිළිගැනීමට මල් කළඹ දෙද්දී මේ.... මල් මොකටද වස...න් ත (හරිනම නෙවෙයි)  අයියේ අපිට යැයි කීවේ මාමාගේ අත මිරිකමින් බව මාගේ උකුසු නෙතින් වසන් කිරීමට නොහැකි විනි. අහෝ දුකකි තිත් ගොඩකි. ඒ සෙනග ඉදිරි පිට මාමාගේ මූණ නිකන් කෝච්චියට  අසුවූ ටොනික් පියනක්  මෙන් ඇඹරි ගියේය. අසීරුවෙන් හිනහවක් මුහුණට නගාගත් ඔහු එන්න නංගියේ ස්ටේජ් එකට යැයි ඇයව කැඳවාගෙන වේදිකාව මතට ගොඩවිය වටේ පිටේ එවුන්ට හිනහව නවත්වාගත නොහැකි වූයේ ඔවුන්ගේ වයස් පරතරය නිසයි. 

කප්ප බොරු තොගයක් වේදිකාවේ දෙසා බෑ ගී තන ගාගේ කතාව නිම වනතුරු ප්‍රේක්ෂකාගාරය බලාසිටියේ මේ ගෑනි කියන බොරුවලට කොයි මොහොතේ හෝ පොලොව පලාගෙන ඇදගෙන යයිදැයි සිතමින් බව කසුකුසු වලින් පසුව අසන්නට ලැබිණි. උත්සවය අවසානයේ සුදු අක්කලා සැට් එක දමා ඒමට මගේ හිතනම් දුන්නේ නැති අතර බලෙන් හෝ නැවත වතාවක් එවැනි වැඩමුළුවක් සංවිධානය කරවා ගැනීමට මට සිතිනි. නමුත් එය මාමාට පැවසීමට නොගියේ මගේ මුහුණ හතරැස් කරගැනීමේ අවශ්‍යතාවය ඒ දිනවල නොතිබූ නිසයි (දැනටත් නැහැ) . වාහනයට නැගගත් මොහොතේ සිට අන්දොස් මූඩ් එකේ පසුවූ ලොකු මාමා ඇමතු 
මම : මොකෝ ලොකු මාමේ අවුලෙන් වගේ ඉන්නේ. 
මාමා : නැහැ පුතා මම හිතන් ඉන්නේ හෙට අනිද්දා පැන්ෂන් ගන්න. 
මම : ඒ මොකෝ ලොකු මාමේ තාම 45යි නේද වයස?
මාමා : පිස්සුද බං උඹට??? අර ගීතාට වයස 65ත් පැනලා මම ඒ ගෑනිට අයියා වෙනවා කියන්නේ මට 75ක් වත් වෙන්න ඕනේ. බලාපන් මගේ සායම ඉවරයි. ළමයි ඔක්කොම කුටු කුටු ගානවා ඇහුන මේ සීන් එක ගැන යන ආදී වශයෙන් ගීතාගේ කැරට්ටුව දිග හැරගත්තේය. (එය මෙහි සඳහන් නොකරන්නේ සදාචාරසම්පන්න නොවන බැවිනුත් ඒ ගැන නොදන්නා කෙනෙක් ලංකාවේ සිටීම උගහට බැවිනි)
මම : ඔව්ව මොනාද ලොකු මාමේ මේ නැට්ට පිටින් අලි මැරෙන රටේ මම එහෙම ගෙදර කාටවත් මේ ගැන කියන්නේ නැහැ ඔයා බය නැතිව ඉන්නකෝ.

නමුත් ගෙදර ආවිගසම එම සිදුවීම ගෙදර උදවියගේ කනේ තියන්නට මම පසුබට වුනේ නැහැ. පවුලේ තරුණ වයසේ හැමෝම ඔහුට අනේ වසන්ත අයියේ....... යැයි කී විට හොඳවයින් වචන සැට් එකකින් සංග්‍රහ කරන්නත් මාමා අමතක කලේ නැහැ (කුනුහපර නෙවෙයි). සතියක් දෙකක් ඇතුලත ගමෙත් කනින් කොනින් මේ ආරංචිය පැතිර ගියේ ඒ අවට ගෙවල් සියල්ලේම විසුවේ ලේ ඥාතින් බැවිනි. මාමා පාරේ යනවිට පොඩි කොල්ලෝ කුරුට්ටෝ සැඟවී වසන්ත අයියේ වයස කීයදැයි විහිලු කිරීමට විය. නමුත් එම විහිළු වලට මාමා පිළිතුරු දුන්නේ වයස 60 වුනත් මම කරන්නේ  තරුණ සේවා. හිතින් තරුණයි යනුවෙනි.


ගැට+ඉස්සි = ගැටිස්සි උඩ මාතෘකාව ගැටිස්සි ලෙස වෙනස්විය යුතුබව කරුණාවෙන් සලකන්න.

බෙල්ල එල්ලගෙන මැරෙනවා අලුත්ම මැරෙන ක්‍රමයක්. සොයාගත්තේ අපේ ගෞරවණීය හුටරිකා නැගණියයි. (අපේ ඥාති පොඩි එකෙක්) මවගේ බැනුම් වලින් බේරී මව බයකිරීමට කියන්නේ අම්ම බැන්නොත් මම බෙල්ල එල්ලගෙන මැරෙනවා කියායි. ළඟදීම පේටන්ට් එකට ඉල්ලුම් කරන්නයි හිතං ඉන්නේ බෙල්ල එල්ලගෙන මැරෙන ක්‍රමේ හික් හික් හික් 

Wednesday 26 February 2014

ෆේස්බුක් තහනමේ අතුරු ඵලය 18+ සයිට් ද? සහ ව්‍යග්‍රා

ඔන්න මේ අවුරුද්දෙත් මෝඩයාගේ දිනය වෙනුවෙන් වැඩක් කරන්න අපේ සියඹලාන්ඩුවේ ඇත්තෝ ලැහැස්ති වෙනවලු. මේ දින වල නොකඩවා සිදුවීගෙන යන ෆේස්බුක් මරණ පෙළ හේතුවෙන් ගන්නට හැකි එකම විසඳුම ෆේස්බුක් තහනම් කිරීම ලෙස අපේ නැණවත් විෂය භාර අමාත්‍ය තුමා තීරණය කරලා තියෙනවා. හික් හික් හික්.... ඒ විතරක් නොවෙයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන අන්දමට සාරි සල්වාර් වැනි අනතුරු දායක රෙදිපිළිද මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමටත් දැනට පාවිච්චියේ පවතින එවැනි අනතුරු දායක රෙදි පිලි රාජ සන්තක කිරීමට හෝ එය රජයේ ලියාපදිංචි කොට ලයිසමක් (ඔය ගිනි අවි වලට දෙන බලපත්‍රය වගේ) ලබාදීම පිලිබඳ දැනට සාකච්චා පවත්වන වග කෝරළේ මහත්තයට දැනගන්නට ලැබුනා හීනෙන්. අම්මපා හැමෝම බැලුවොත් කතා කොරන්නේ විශ්ව ගම්මානේ දොරටු විවර කිරීම ගැන. නමුත් මෙවැනි සියදිවි නසාගැනීම් රටේ අනාගත පරපුර විනාශ වී යාමට කිසිසේත්ම ඉඩ දිය නොහැකියි ඒ නිසා බුකිය නමැති ඒ භයානක වෙබ් අඩවිය තහනම් කලයුතුවේ එය රටේ අනාගතය වෙනුවෙන් ගන්නා මොලේ නැති  ඇති  තීරණයකි.



"නමුත් අද කාලේ හැදෙන ළමයි හරි ඇඩ්වාන්ස්" මේ කියමන අපි අනන්ත අහල ඇති. ඉතින් මේ ඇඩ්වාන්ස් ළමයින් දන්නේ නැහැ අවහිරකරපු අඩවි වලට පිවිසෙන්න ප්‍රොක්සි VPN භාවිතා කළහැකි බව. දැන් කියන්න පුළුවන් කීයෙන් කීදෙනාද ඔව්වා භාවිතා කොරෙන්නේ කියල නමුත් මා විශ්වාස කරන පරිදි මෙසේ ෆේස්බුක් අවහිර කිරීම තුලින් ළමුන් ප්‍රොක්සි වැනි දෑට හුරුවීම තුල තිබෙන්නාවූ නරක පැත්ත තමයි ළමුන් මෙමගින් කාමුක අඩවි (porn sites) වැනි දෑට ඇබ්බැහිවීම තුලින් මේ වෙලා තියෙනවාට වඩා වින්නැහියක් වීමට ඉඩතියෙනවා. 


ඔය වල් සයිට් ගැන කතා කරද්දී තමයි මට මතකෙට ආවේ අපේ ප්‍රසාව (නමෙන් කොටසයි) ප්‍රසා කියන්නේ අපේ සමාගමේ පරිගණක ක්‍රියාකරුවෙකු ලෙස වැඩට ආ පොඩි කොල්ලෙක් කොහොමින් කොහොම හරි මෑන්ව සෙට් වුනේ අපේ කාමරේට. වයසට වඩා මෝරපු මරුමුස් පෙනුමක් දිස්වුනත් මනසින් තවම පොඩි එකෙක් වගේ වුන ප්‍රසා මලයා අපි හැමෝගෙම හොඳ හිත දිනාගන්නට සමත් වුනා. පලවෙනි වතාවට  පිට රටකට ඇවිත් තමන්ගේ ගෙදරින් වෙන්වෙලා තියෙන්නේ. ප්‍රසාගේ මෑණියන් කියපු පරිදි රැයක් ගෙයින් පිට ගතකරපු කොල්ලෙක් නෙවෙයිලු. අපි සැට් එක ඔය මදුවිත පාටි වාටි වලට සැටමෝල් වුනත් ප්‍රසා නෙවෙයි මෙව්වට සම්බන්ධ වුනේ. දැඩිව අමධ්‍යප ව්‍යාපාරය අනුගමනය කල ප්‍රසා අරක්කු සිගරට් දැඩිව පිළිකුල් කළා. කොල්ලෙක් විදියට කියන්න වරදක් නොතිබුනත් කිහිප දවසක් අපේ මංජු අයියට අහුවෙලා තියෙනවා පොර ඔය වැල සයිට් බලනවා. පස්සේ හොයල බැලින්නම් දැඩි ලෙසම ඒ අංශයට ඇබ්බැහිවෙලා තියෙනවා.

මෙහෙ මගේ කලින් ලිපියක සඳහන් කළා බාර්ඩුබායි (Bur Dubai) ,සත්වා (Satwa) යන නගර දෙකම ඔය ගණිකාවන්ට ගොඩක් ප්‍රසිද්ධ තැන් දෙකක් තේරෙන සිංහලෙන් කිව්වොත් ප්‍රසිද්ධ බඩු පොට්. ප්‍රසා මාසෙකට පාරක් දෙකක් මේ දේවාල වන්දනාවේ යන විත්තිය අපේ බුද්ධි අංශ වලට තේරිලා තිබුනේ. හැබැයි මේ තැන් වලට යන්න ගත්තට පස්සේ කොල්ලගේ පැහැදිලි වෙනසක් දකින්න ලැබුනා. වැඩිය කිසිකෙනෙකු සමග වැඩි කතාබහට එන්නේ නැතිව පොර පොරගේ පාඩුවේ කාලය ගත කළා. දවසක් මට මට කතා කරපු ප්‍රසා අහනවා කෝරළේ අයියේ අර මොකක්ද බං අර උඹේ අල්මාරිය උඩ තියෙන පොඩි ඩප්පිය. මම  පහුගිය දවසක  යම්කිසි වැඩක් සඳහා රැගෙන ආ පොඩි ප්ලාස්ටික් ඩප්පිය ගැන තමයි මේකා මේ අහන්නේ කියලා මට තේරුනා. මටත් අමතක වෙලා තිබුන මේ ඩප්පිය මූට මතක තියෙන  හැටි බලන්නකෝ මංජු අයියේ....... උඹට වැඩකට ඇති දෙයක් නෙවෙයි යැයි කියා විහිළුවක් කර එතනින් යාමට හැදුවද ප්‍රසා නැවතත් "අනේ අගේ නොකර කියහන් බං අයියේ මොනවද තියෙන්නේ" කියලා යැයි කී විට මේකාව බයිට් එකට ගැනීමට සිතු මම ඕක පොඩි එවුන්ට අවශ්‍ය දෙයක් නෙවෙයි බං ඕකට කියන්නේ ව්‍යශ්‍රා කියල උඹට ඕක අදාළ වෙන දෙයක් නෙවෙයි යැයි පැවසු විට මොහු ඒ පිළිබඳව හාර හාර තොරතුරු විමසන්නට විය. ඒ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ භාර ධූර කර්තව්‍ය භාරගත් මංජු අයියා ව්‍යශ්‍රා යනු මොනවාද එයින් ජනිතවන ශක්තිය පිළිබඳවත් එය අසවල් කෝෂ දෙකේ ආලේප කරගත යුතු බවත් පැයකට පසුව සෝදා දැමිය යුතු බවත් පැහැදිලි සිංහලෙන් ප්‍රසාට කියාදෙන ලද්දේ ගූගල් තොරතුරුද ගෙනහැර දක්වමිනි (ඇත්තද දන්නේ නැහැ). 

දිනක් මෙම ඩප්පිය මාගේ අල්මාරියෙන් අතුරුදහන්ව ඇති බව නානකාමරයට යාමට පෙර මම දුටිමි. මා ඒ පිළිබඳව විපරම් කරනු ප්‍රසාද දුටු නමුත් කිසිදෙයක් පැවසුවේ නැති ඔහු මා නැවත පැමිණි පසු මට ඩප්පිය දුන්නේ කෝරළේ අයියේ තමුන්ගේ වටිනා කියන බඩු පරිස්සමට තියාගනින් එක්කෝ අල්මාරිය ලොක් කරලා පලයන්. මේ ඩප්පිය බිම වැටිලා තිබුනා මම පරිස්සමට අරන් තිබ්බා මෙන්න තියාගනින් යනුවෙන් මා අතට දී බාත්රූම් එකට ගියාය. එහි පියන විවෘත කර බැලු විට කිසිවෙන් එහි අඩංගු ආලේපය ඇඟිල්ලක් දමා රැගෙන ඇති බවත් එහි ඇති ඇඟිලිපාර සූක්ෂම ලෙස මකා දැමීමට තැත් කර ඇති බවත් දැකගත් හැකි විය. මංජු අයියාද පැමිණියෙන් මම ඔහුටද මේ ගැන පවසා සිනා සුනේ සති දෙකකට අධික කාලයක් මෙය අල්මාරියේ තිබු මුත් බිම වැටි තිබුනේ නැත. අද බිමවැටීම සහ එය ප්‍රසාටම හමුවීම අහම්බයක් ලෙස කෙලෙස සලකම්ද?????  බාත්රුම් එකේ සිට ප්‍රසා පැමිණි පසු මංජු අයියා ඔහුගෙන් මේ පිළිබඳව විමසු විට බොලාට පිස්සුද මම නම් ඔය මගුල් ගත්තේ නැහැ බිම වැටිලා තිබිල මම අරන් තිබ්බා යනුවෙන් පැවසීය. 


මම : ඒ කියන්නේ ප්‍රසා උඹ මේක පාවිච්චි කරේම නැද්ද? 
ප්‍රසා : නැහැ බං අයියේ කී ගමනක් කියන්නද? නැහැ කියන්නේ නැති නිසා 
මංජු අයියා: කෝරළේ මල්ලි ඔන්න ඕක අතහැරලා දාන්න 
මම : නැහැ මංජු අයියේ මම මේ බයවුනේ මු වැරදිලා හරි ගාගෙන නම් ලෝක නස්පැත්තියක් වෙන්නේ 

ප්‍රසා : ඒ මොකෝ 
මම : යකෝ මේ ඩප්පියේ ඇති ව්‍යග්‍රා රෙද්දක් නැහැ මේකේ තියෙන්නේ ............. යැයි පැවසු විට මූණ කොරහක් තරමට කරගත් ප්‍රසා තොපිට හෙන ගහනවා තොපි දෙන්නටම ************* යනුවෙන් අමු තිත්ත කුනුහර්පයෙන් අපිට සංග්‍රහ කොට කාමරයෙන් එලියට ගිය ඔහු නැවත කාමරයට පැමිණියේ අප සියල්ලන්ටම නින්ද ගිය පසුවය. සතියක් පමණ යනකල් මූණ එල්ලගෙන සිටි ප්‍රසා සියල්ල මතක කර දමා නැවත අප හා මිතුරු විය. 


දැන් හැමෝම කල්පනා කොරනවා ඇති නේද මොකක්ද මේ අරුම පුදුම ආලේපය ව්‍යග්‍රා කියලා හික් හික් 



                              
මගේ පරණ ලැපීගේ hinges (සරනේරු) වලට දාන්න මම ගත්තේ මේකේ කිසිම සඳහනක් නැති නිසාත් ඩප්පිය පොඩි සිද්ධාලේප ඩප්පියක් තරම් වූ නිසාත් ප්‍රසාට මේ ගැන වැඩි සැකයක් ඇතිවුනේ නැහැ. කොහොම නමුත් මේ සිද්දිය එකමඩේෂන් එක පුරා ලැව්ගින්නක් වගේ පැතිර ගියා. කොහොම හරි ඊට අවුරුද්දකට පමණ පසු ප්‍රසා කොම්පැනියෙන් අස්වෙලා යනකන්ම ප්‍රසා කියලා නම් ඔහුට කවුරුත් කිව්වේ නැහැ හැමෝම කිව්වේ ග්‍රීස් අස්ථියා (හරි වචනේ මේක නෙවෙයි) කියලා.

Wednesday 29 January 2014

ස. ස. ස. රසයෙයි කුණු රසයෙයි වෙනස වටහාගන්න.

ඇත්තටම මේ පිට රට ජීවිතෙත් හරිම පුදුමාකාරයි. ඒ මොකද කියනවනම් රට එනවා කියන්නෙත් හිරේ යනවා වගේ වැඩක් නේ අපිට ඕනේ ඕනේ වෙලාවට අපිට ඕනේ ඕනේ දේවල් කරන්න බැහැ කොන්ත්‍රාත් එක අස්සන් කරලා හාමුපුතුන්ගේ පදයට නටන රූකඩ එහෙම නැත්නම් හිත පිත් නැති මැෂින් වගේ වැඩ කරලා එලියට බැහැපන් කිව්වාම අකුලාගෙන එන්න ඕනේ ජීවිතයක් තමයි මේ මැදපෙරදිග තියෙන්නේ. ශ්‍රමය හූරාකන රටවල් අතරින් පෙරමුණේ ඉන්න මැදපෙරදිග රටවල් වලට පුළුවන් වෙලා තියෙනවා කිව්වොත් මම නිවැරදියි. මෙහෙම රස්සාව කරගෙන ඉන්න අතරේ මොකක්හරි කරදරයක් අණතුරක් අසනීපයක් වෙච්චි වෙලාවට තමයි තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන සිංහල කියමන සිහියට එන්නේ. 

මට මතක් වෙනවා ගිය අවුරුද්දේ මිය ගිය මා දන්නා හඳුනන තරුණයෙක් ගැන. කොපමණ දන්නා අඳුනන්න යාළු මිත්තරයෝ හිටියත් කොන්සල් කාර්යාල තානාපති කාර්යාල තිබුනත්  අන්තිමට මල මිනිය යවන්න වුනේ සම්මාදම් කරලා. මේ වැඩි කල් නැහැ දැනට මාස දෙකකට වගේ ඉහත මියගිය ගුරුවරියගේ මෘතදේහය ලංකාවට යැව්වෙත් සම්මාදම් පත්‍රයක පිහිටෙන්. නමුත් සම්මාදම් කිරීමෙන්වත් එවැනි අවශ්‍යතා ඉටුකරගැනීමට නොහැකිවූ අවස්ථා අපිට අහන්න ලැබිල තියෙනවා.  ඒ වගේ අවස්ථාවල පිහිට වෙන ආයතනයක් තමයි සහන සංවිධානය කියන්නේ. මෙවැනි වකවානුවක බිහිවූ මෙවැනි සමාජසේවා සංවිධානයක් අපි ඇත්ත වශයෙන්ම අගය කලයුතුවෙනවා. ඒ විතරක් නෙවයි ඔවුන් ලංකාවේ සිටින දුප්පත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාත් විශාල වශයෙන් උදව් උපකාර කරනවා.  නමුත් මම මේ ලිපිය ලියන්න ගත්තේ  රජයේ ලියාපදිංචි සහන සංවිධානයෙන් ක්‍රියාත්මක කරන තවත් හොඳ වැඩක් ගැන තමයි මේ ලියන්න යන්නේ.



සහන සංවිධානයේ අපේ ජෝර්ජ් හෙට්ටිආරච්චි මහත්මයා, නීල් ද සිල්වා මහත්මයා, සුභාෂ් ගුණවර්ධන (අපි හැමෝම දන්නා දුකා) ඇතුළු කණ්ඩායම පෙබරවාරි 28 වෙනිදට බොහොම අපූරු සංගීත සැන්දෑවක් සූදානම් කරලා තියෙනවා.ඒ තමයි සහන සංගීත සංධ්වනිය මෙම ප්‍රසංගය රසවත් වන්නේ ඔබ අප කවුරුත් ආදරය කරන වික්ටර් රත්නායකයන් සහ විශාරද නන්දා මාලනීයන්ගේ මියුරු ගී සරින්. හෙළයේ පහල වූ ගී තරු අතර ඇති මහත් රසික ප්‍රතිචාරයක් ලබා සිටින මේ විශාරදයන් දෙපල හෙළ ගී ලොව පහල වූ ගාන්ධර්වයන් දෙදෙනෙක් ලෙස හැදින්වූවාට වරදක් නැහැ. මොවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් නිර්මාණය වූ රම්‍ය තීර්ථය ප්‍රසංග මාලාවේ කොටසක් ලෙසින් තමයි  සහන සංගීත සංධ්වනිය  පැවැත්වෙන්නේ. මෙතෙක් වොන්ඩර් ලෑන්ඩ් ලෙෂර් ලෑන්ඩ් හි පැවැත්වූ කටෝර සංගීත සංදර්ශනයන්ට වඩා, රත්වූ කාන්තාරයට ඇදහැලෙන මල් වරුසාවක් මෙන් වූ මෙවැනි අරුත්බර සංගීත සැන්දෑවක් ඔබගේ සිතට සැහැල්ලුවක් වනවා ඇතැයි මා විශ්වාස කරනවා. ඇත්තටම ඔබත්  හරවත් අරුත්බර සංගීතයට ඇළුම්කරන  කෙනෙක් නම් ඔබ මේ අවස්තාව මග හරින එකක් නැහැ කියල මම හිතනවා.





https://www.facebook.com/events/230641200429992/
ප්‍රසංගයට යන උදවිය ඉන්නවානම් උඩ තියෙන පින්තූරෙට කොටලා ෆේස්බුක් ඊවන්ට් පේජ් එකේ යනවයි කියල සඳහන් කොරන්නකෝ. 

ප්‍රවේශ පත් ඩිරාම් 150,100,75,50


 මේ තියෙන්නේ කලින් වතාවක නීලා වික්‍රමසිංහ මහත්මියගේ මාස්ටර් සර් ප්‍රසංගය වෙනුවෙන් දුකා ලියපු ලිපිය


 

https://www.facebook.com/SahanaUae


සහන සංවිධානයේ ෆේස්බුක් පිටුවට යන්න ලෝගෝ එක උඩ ක්ලික් කරන්න






Wednesday 15 January 2014

රටවිරු ටැලන්ට් ස්ටාර්,පබාගේ බබා පාට් සහ විදේශ සේවා නියුක්තිකයන්...............




පසුගිය දිනක ඉතාමත් උත්කර්ෂවත් ලෙස පවත්වපු රටවිරු ටැලන්ට් ස්ටාර් ගැන තමයි මේ පොඩි සටහනක් තියන්න යන්නේ.දිලාන් ඇමතිතුමාගේ මගපෙන්වීම යටතේ තමයි මේ තරඟය සංවිධානය කොරල තියෙන්නේ. අන්තිමේදී අවසන් තෑග්ග හිමිවූ වාසනාවන්තයා ඇත්තටම වාසනාවන්තයි කියල කියන්න පුළුවන් මොකද ඔහු මුදල් අගහිඟ කමකින් පෙලෙන කෙනෙක් නොවුනත් ඔහුවම තෝරලා මේ තෑග්ග දුන්නු එකයි පුදුමේ කියන්නේ. පලවෙනි වටයෙන් එලියට විසිවුනත් වයිල්ඩ් කාඩ් සංකල්පයෙන් මොහුට ඉදිරියට එන්නට හැකියාව ලැබුනේ කාගේ ආනුභාවයෙන්දැයි සොයාබැලීම වටී (නිළියකගේ සැමියෙකු වීම නිසා වෙන්නත් පුළුවන්).සැබවින්ම එම වේදිකාවේ තරඟ කල තරඟ කරුවන්ගෙන් එය ලැබීමට සුදුසු කම ඇති අය සිටියත් ඔහුට තැන ලැබුනේ ලෝකේ උතුම් රටවූ සිරි ලංකාවේ තිබෙන සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ පාරම්පරික සංස්කෘතික ක්‍රමය නිසාවෙන්දැයි නොවැටහේ. නමුත් මේ ලිපියේ අරමුණ තෑග්ග ලැබුණු පුද්ගලයා කවුද කියන එකවත් එහි සාධාරණ අසාධාරණ බව කතා කිරීමවත් නොව එම සංකල්පය ගැනම කතාබහකට ලක් කිරීමයි. මේ ලිපිය නොලීමට හිත හදන් සිටියත් ඊයේ මුහුණු පොතෙන් මේ දැක්ක පින්තූරයෙන් මම නැවත මේ ලිපිය ලිවීමට අදහස් කළා.


  1. ඇත්තටම මිනිස්සු රට යන්නේ මොකද?
  2. කවුද මේ රට යන උදවිය?
  3. මේ අයගෙන් රටට ඇති ප්‍රයෝජනය මොනවද?
  4.  මොවුන් රැකියා සඳහා පිටරට යෑමේදී භාවිතා කරන ක්‍රම වේදයන් මොනවාද? 
  5. මොවුන්ගේ සුභ සාදනය සඳහා ක්‍රියාත්මක වෙන ආයතන මොනවාද?
  6.  එම ආයතන වලින් මොවුන්ට සේවයක් වෙනවාද (මොවුන් වෙනුවෙන් පෙනී සිටිනවාද?)



අපි මුල් කරුණු දෙක විග්‍රහ කර බැලුවහොත් තම රටේ ජීවත් වීමට ඇති අපහසුතා නිසා ජීවන බරින් මිරිකිලා බදු බරින් පීඩිත වෙලා ඉන්න දුප්පත් ජනතාව තමයි රට යන ඇත්තන්ගෙන් 90%ක ප්‍රතිශතයක් වන්නේ ඇත්තටම ලංකාවේ සිටින උදවිය හිතන දෙයක් තමයි රට යන එවුන් යන්නේ දිව්‍යලෝකේ වගේ සුරපුරයකට කියල. ඒ වගේම හම්බ වෙන්නේ ලොකු ලොකු පඩි, රට ඉඳල එනකොට ගේන ටොෆි, චොකොලට්, චුයින්ගම්, විදුලි උපකරණ අතේ කරේ පුරවපු ස්වර්ණාභරණ ආදිය තමයි මැවෙන්නේ. නමුත් සැබෑ තත්වය එසේ නෙවෙයි කියල එම අත්දැකීම ලබපු කෙනෙක් දන්නවා. අරාබි නිවසක වැඩට එන  සාමාන්‍ය ගෘහසේවිකාවක් උදේ පාන්දර 4ට පමණ නැගිට ගත් පසු රෑ 11ට 12 ට නින්දට යනකම් කරනන් තියෙන වැඩ රාජකාරි මෙතන සඳහන් කලොත් මේ පොස්ට් එක එතැනින්ම ඉවර කරන්න වෙයි. මොකද ඒ කාලය ඇතුලත කරන්නට ලැබෙන රාජකාරි එතරම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ රාජකාරි කාලය රාමසාන් මාස වල වෙනස් වෙනවා අරාබි උපවාස කරන නිසා. මේ වෙලාව ඇතුල තුල ඔවුන්ගෙන් කී දෙනෙක්ගෙන් ගුටිකන්න බැනුම් අසන්නට වෙනවාද? නැති බැරි කමට රට ඇවිත් බැල මෙහෙවර කලත් ඇය ශ්‍රී ලාංකික කාන්තාවක්. රැකියාවක් කලත් ජාතියක් ජන්මයක් හරි ඉතිහාසයක් නැති අරාබින්ගේ ගොදුරක් වියයුතු නැහැ කියන මතයේ මම ඉන්නවා. 


ඇත්තටම අප රටට විදේශ විනිමය ලැබීමේ මුල්ම සහ ලොකුම මාර්ගය තමයි විදේශ ශ්‍රමිකයන්. මහ බැංකුව රජය අය වැය සැකසීමේදී විදෙස් විනිමය කියා පෙන්වන අගයෙන් 60% ක් පමණම මේ සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන මුදල් වන අතර. අප රටේන් අපනයන වන දේවල් පිළිබඳව මා මෙතැනදී කතා කිරීමට යන්නේ නැති වුනත්. මහාපරිමාණයෙන් අපනයනය වන දේ වන්නේ ශ්‍රමිකයන්ය. ඇත්තටම මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වුවත් මෙම ක්‍රියාවලිය මම මෙතැනදී වහල් ජාවාරමක් ලෙස හඳුන්වනවා. (වෙනස තිබෙන්නේ පොඩි පඩියක් ගෙවන එක විතරයි)නමුත් විදෙස් ගතවූ පසු ඔවුන්ට වැඩ කිරීමට සිදුවන්නේ වහලුන් ලෙස බව විදෙස් රැකියාවක නිරතවූවන් දන්නවා ඇති. පසුගිය දිනක ස්වර්ණවාහිනී පුවත් අතර වාරයේ පෙන්වූ ලීලා මහත්මියගේ පුවත ඔබ දුටුවා යැයි මා සිතනවා. සැබවින්ම සුරංගනා ලෝක පෙන්වා අප අහිංසක කාන්තාවන් පිට රට පරවන විදේශ රැකියා ඒජන්සි  (වහල් ඒජන්සි) කරුවන් ඔවුනට එහි යම් කිසි කරදරයක් වූ විට හැසිරෙන්නේ ඔවුන්ට එම ශ්‍රමිකයාගේ  වගකීම ඇත්තටම නැති ලෙසිනි. 


පෞද්ගලික අංශය මෙසේ ක්‍රියා කරද්දී අපි මදක් අවධානය රාජ්‍ය ආයතන වන විදේශ රැකියා කාර්යංශය සහ තානාපති කොන්සල් කාර්යාල වෙත යොමු කෙරුවහොත් විදේශ ගතවීමේදී ලියාපදිංචි ගාස්තු (නිල කප්පම්)වශයෙන් 15000ක පමණ මුදලක් අයකරන අතර එය අවුරුදු දෙකෙන් දෙකට අලුත් කිරීමටත් සිදුවෙයි. මුදල් ලබාගැනීමේදී ඉතා යුහුසුළුව ක්‍රියාකරන විදේශ රැකියා කාර්යංශයේ නිලධාරීන් යම්කිසි හදිස්සියකදී කරදරයකදී එම නියුක්තිකයා හෝ නියුක්තිකාව නැවත ගෙන්වාගැනීමට අර තරම් යුහුසුළු නොවන්නේ ඇයිද යන්න විදේශ ශ්‍රමිකයන් හට ඇති ගැටලුවකි. සත්මහල් ප්‍රාසාද තනා (එම ආයතනයේ ගොඩනැගිල්ල) එහි සේවය කරන මහත්ම මහත්මීන් ඔවුන්ගේ සේවය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් සලකන්නේ ඔවුන්ගේ වටිනා කාලය කා දැමීමට ආ පුලන්නන් පිරිසකට මෙනි. තානාපති කොන්සල් කාර්යාලද ක්‍රියා කරන්නේ පිට කොන්දක් නැති අයවලුන් ලෙසයි. නමුත් ඔවුන් මොහොතකටවත් නොහිතන්නේ මන්ද ඔවුන්ගේ මාසික වැටුප් ලැබෙන්නේ මේ ශ්‍රමිකයන් විසින් උපයන මුදලින් බව. සැබවින්ම අනෙක් රටවල් වල තානාපති කාර්යාල ඔවුන්ගේ රටේ පුරවැසියන් ගැන දක්වන උනන්දුව කැපවීම ලංකාවේ තානාපති කාර්යාල වල නම් දකින්නට නැති බව කණගාටුවෙන් වුනත් කියන්නට වෙනවා. 

රටවිරු ටැලන්ට් ස්ටාර් කියාගත් එම වැඩසටහනට වියදම් කල මුදල් විදේශ ශ්‍රමිකයන්ගේ සුභසාධනයට යොමු කාලා නම් ගරු දිලාන් පෙරේරා ඇමති තුමාටත් මෙයිට වැඩිය පිළිගැනීමක් ගරු කිරීමක් ලබාගන්න තිබුනා. නළුනිලියන් ගායක ගායිකාවන් පිරිවරාගෙන රටින් රට සංචාරය කරමින් මුදල් නාස්ති කිරීම සැබවින්ම ජාතික අපරාධයක්. ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් සඳහා මෙයිට වඩා විධිමත් වැඩ පිළිවෙලක් සකස් කොට ඔවුන්ට තම අවධානය ලබාදීමට කාලය ඇවිත් තිබෙනවා. අවුරුදු ගානක් තමන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරන්න යන එකටත් අපි රජයට බදු ගාස්තු ගෙවලයි යන්නේ. එම රජයට වගකීමක් සහ යුතුකමක් තිබෙනවා මෙම ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටින්නට. විශේෂයෙන්ම අප රටේ ගැහැණු පිරිමි බේදයක් නැතිව අඩම්තේට්ටම් වලට ලක්වෙන රටක් තමයි සවුදි අරාබිය. අප රජයට කොන්දක් පණ ඇතිව ඒවාට එරෙහිව කතා කිරීමට නොහැකි නම් තවත් ජීවිත විනාශ නොකර එවැනි රටවල් වලට අප රටේ පුරවැසියන් නොයැවීමට කටයුතු කල යුතුයි.





ප.ලි. ඇත්තටම ස්වර්ණවාහිණියේ නිවේදිකාවක් හිටියෙම නැද්ද දන්නේ නැහැ අර බබා පාර්ට් දාන පබාට නිවේදන කටයුතු සහ සභාව මෙහෙය වීම කරන්න දුන්නේ. ඇය සභාව මෙහෙයවූවාද සභාව විසින් ඇයව මෙහෙය වූවාදැයි එම වැඩසටහන නැරඹු උදවිය දකින්ට ඇති. තානාපතිට තානාධිපති ලෙසත් තවත් මෝඩ පාට් කිහිපයක් රඟදැක්වූ පබාලා වැනි උදවිය තමුන්ගේ හැකියාව දැන්වත් තේරුම් ගත යුතුයි. දෙබස් පාඩම් කොට කරන රඟපෑමට දක්ෂ වූ පමණින් නිවේදන කටයුතු (එයත් සජීවී වැඩසටහනක) කිරීමට හෝ රටක් පාලනය වන පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තමුන් අසමත් බව ඇයට වැටහෙන්නේ නැත්තේ කුමන පාරුවේ පුවක් නිසාවෙන්දැයි කෝරලේ මහත්තයාට ඇත්තේ ගැටලුවකි. 




Related Posts Plugin for WordPress, Blogger...